ධීවර කර්මාන්තයටත් ජාතික ආරක්ෂාවටත් මරු පහරක්

  👤  3395 readers have read this article !
By mawbima 2017-09-13

එදා මෝදර ධීවර වරායට අත තබමින් ඇමැති රාජිත සේනාරත්න කටයුතු කළ ආකාරයටම අද සියලු ධීවර වරායන් තිස් වසරකට බදු දීමට ඇමැති මහින්ද අමරවීර ප්‍රමුඛ අණ්ඩුව කටයුතු කරමින් සිටින බවට ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි විජිත හේරත් චෝදනා කරයි.

පසුගිය වසරේ කැබිනට් පත්‍රිකාවක් හරහා මෙම බදු පදනම යටතේ ධීවර වරායන් පැවැරීමේ යෝජනාව අනුමත වී ඇති බවත් රටේ ක්‍රියාත්මක වන හා ඉදිකෙරෙමින්, යෝජනා වී ඇති එම සියලු වරායන්වල තක්සේරු වටිනාකම 1,692,853,950ක් බවත් මන්ත්‍රිවරයා පෙන්වා දෙයි.

හේරත් මහතා පවසන්නේ මෙය රටේ ධීවර කර්මාන්තයටත්, ජාතික ආරක්‍ෂාවටත් මරු පහරක් එල්ල කරන යෝජනාවක් වන අතර ජන ජීවිතවලට ද දැඩි බලපෑමක් එල්ල වන බවයි.

සමස්ත ධීවර ජනතාව වෙනුවෙන් මෙම ක්‍රියාමාර්ගයට එරෙහිව අරගලයන් දියත් කරන බව ද හෙතෙම වැඩිදුරටත් පැවැසුවේ ඊයේ (12දා) ජ.වි.පෙ. පක්‍ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේදීය.
මන්ත්‍රිවරයා මේ බව ද පැවැසීය.

මේ වන විට රාජ්‍ය සම්පත් විකිණීම ඉතා වේගවත් වෙලා තියෙනවා. ඉඩම්, වරායවල්, ඛනිජ සම්පත් කුණු කොල්ලයට බදු දුන්නා. විකුණුවා. දැන් ධීවර කර්මාන්තයටත් අත තියලා. රටේ ධීවර කර්මාන්තයෙන් ජීවත් වන පවුල් ලක්‍ෂ 2කට වැඩියි. රටේ භූමිය වගේ අට ගුණයක් මුහුදු සම්පතක් තියෙනවා. මේ හරහා ප්‍රයෝජන ගන්නවා නම් ලෝකේ වටේ ගිහින් හිඟා කන්න ඕනේ නැහැ. අද ආණ්ඩුව මේ කර්මාන්තය කඩා වට්ටන්න තීන්දු තීරණ ගන්නවා.

දැනටමත් රටේ වරායවල් 20ක් ක්‍රියාත්මක වෙනවා. ගොඩනැඟෙමින් හා යෝජනා වී ඇති වරායවල් ඔක්කෝම 30ක්. ධීවර කාර්මිකයන්ගේ යටිතල පහසුකම් සැපයීම, බෝට්ටුවලට ඉන්ධන ජලය, විදේශීය නැව් සඳහා ඉන්ධන ලබාදීම ඇතුළු සමස්ත යටිතල පහසුකම් සැපයීම සමස්ත ධීවර වරාය සතු කාර්ය භාරය වෙනවා.
රාජිත සේනාරත්න ධීවර ඇමැතිව සිටි කාලයේ මෝදර ධීවර වරාය බි්‍රතාන්‍ය සමාගමකට කුණු කොල්ලයට දුන්නා. එහි තක්සේරුකරුට අනුව වටිනාකම ලක්‍ෂ 17යි. අක්කර තුනහමාරක. හැබැයි ඇමැති ඩී. ගල්ෆ් කියන බි්‍රතාන්‍ය සමාගමට බදු දුන්නේ 1,25,000කට අවුරුදු 25කට. මෙහි පැහැදිලි වංචාවක් තියෙනවා. ධීවර ක්‍ෂේත්‍රයේ පළමු විකිණීම රාජිත සේනාරත්න කෙරුවේ. ඔහු මෙයට වගකිව යුතුයි.

එතෙක් විදේශ ධීවර යාත්‍රා අල්ලපු මාළුවලින් කොටසක් ධීවර සංස්ථාවට දුන්නා. ඒ මාළු සහන මිලට වෙළෙඳපොළට නිකුත් කරන්න ධීවර සංස්ථාවට හැකි වුණේ ඒ නිසා. රාජිත සේනාරත්න ඒක නැවැත්තුවා. ඒකෙන් ධීවර සංස්ථාව කඩා වැටුණා. සේවකයන්ට වැටුප් ගෙවාගන්න බැරි වුණා.
රාජිත එක ධීවර වරායකින් පටන් ගත්තා. වත්මන් ඇමැති මහින්ද අමරවීර රටේම ධීවර වරායන් ටික විකුණන්න යනවා.

අනුරාධා හේරත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්