සිල් රෙදි බෙදන්න උපදෙස් දුන්න රාජපක්‍ෂවරුන් වගකීම බාර ගත යුතුයි

  👤  3293 readers have read this article !
By mawbima 2017-09-13

පසුගිය ආණ්ඩුවේ දේශපාලන අවශ්‍යතාවන්ට සිල් රෙදි බෙදීම නිසා රජයේ අවංක නිලධාරීන් දෙදෙනකුට සිරබත් කන්නට සිදුව ඇති බවත් ඔවුන්ට එම සිල් රෙදි බෙදීම සඳහා උපදෙස් ලබාදුන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා නැතිනම් බැසිල් රාජපක්‍ෂ මහතා හෝ වෙනත් රාජපක්‍ෂ කෙනකු එහි වගකීම නොගෙන අහිංසක නිලධාරීන් දෙපළක් බිල්ලට දීම වරදක් බවත් වාරිමාර්ග හා ජල කළමනාකරණ අමාත්‍ය ගාමිණි විජිත් විජයමුණි සොයිසා මහතා පැවැසීය.
ඇමැතිවරයා මේ අදහස් පළ කළේ බිබිල, වෑගම ප්‍රදේශයේ පැවැති ජන හමුවක් අමතමිනි.

මෙහිදී අමාත්‍යවරයා මෙසේද කීය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ මම අහලා තියෙන විදියට හිටපු ජනාධිපතිවරයෙක් තමන්ගේ ධුර කාලයේ කරපු දේවල්වලට හිරේ දාන්න බැහැ. සාමාන්‍යයෙන් අමාත්‍යාංශ ලේකම්වරයෙක් අදාළ ඇමැතිවරයා දෙන නියෝගය ක්‍රියාත්මක කළ යුතුයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පනස් දෙකේ දෙක යටතේ ඇමැතිවරයාට ඒ නියෝගය කරන්න පුළුවන්. අපි කරන නියෝගයක් ක්‍රියාත්මක කරන්න අමාත්‍යාංශ ලේකම්වරයා බැඳිලා ඉන්නවා. එහෙම නම් මේ සිල් රෙදි බෙදන්න උපදෙස් දුන්න රාජපක්‍ෂවරු තුන්දෙනාගෙන් කවුරු හරි ඒ වගකීම භාරගන්න එපැයි. මේ අහිංසකයෝ හිරගෙවල්වල දාන්නේ නැතිව.

මේ සිද්ධිය වෙච්ච ගමන් එතෙක් රනිල්ට බැන බැන හිටපු මහින්ද මහත්තයා පාර්ලිමේන්තුවේදීම රනිල් එක්ක සාකච්ඡා කරනවා.
මහින්ද රාජපක්‍ෂ මහත්තයා ශ්‍රී ලංකා නිදහස් පාක්‍ෂිකයකු ලෙස දෙපාරක් ජනාධිපති වෙලා හිටියා. අගමැති වෙලා හිටියා. එහෙම නම් ඇයි මහින්ද රාජපක්‍ෂ මහත්තයා මේ පක්‍ෂය කඩලා එක්සත් ජාතික පක්‍ෂය දිනවන්න මල් පොහොට්ටුවකින් එන්න හදන්නේ. ඇයි මේ තමන්ට අත දීපු පක්‍ෂයට පයින් ගහන්නේ.
පසුගිය කාලේ කිසිම ආණ්ඩු කාලයක පැවැති හොරකම්, වංචා දූෂණ හෙළිදරව් වුණේ නැහැ. නමුත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා යටතේ ඒ හොරකම් වංචා හෙළිදරව් කරමින් වැරැදිකරුවන්ට තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරනවා.

පරාක්‍රම සමුද්‍රය යටතේ අක්කර හතරක ගොවිතැන් කරලා ඒ ගොවි බිමේ ජීවත් වෙච්ච ග්‍රාම සේවක මහත්තයෙක් තමයි මේ රටේ ජනාධිපති වෙලා තියෙන්නේ. එතුමා තමයි මෙතෙක් හිටිය සරලම ජනාධිපතිවරයා. මහින්දවත්, චන්ද්‍රිකාවත්, සිරිමාවෝවත් එහෙම නැහැ. එතුමා කලබල නැහැ. පිස්සෝ කලබල වුණාට ‍ෙදාස්තර කොහොමත් කලබල නැහැනේ. මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා ඔය කලබල කරන ලෙඩ්ඩුන්ට හරි වෙලාවට ඉන්ජෙක්ෂන් එක දෙනවා. ඒ නිසා අපි මේ පක්‍ෂය රැකගෙන ඉදිරි පරම්පරාවට මේ පක්‍ෂය භාර කරන්න ඕන. මේ පක්‍ෂය කැඩුවොත් ඔය කාටවත් කවදාවත් හරිගියේ නැහැ. හරි යන්නෙත් නැහැ.

අපේ පක්‍ෂයෙන් ජීවත්වන පරපෝෂිතයෝ ඉන්නවා. විමල් වීරවංශ, දිනේෂ් ගුණවර්ධන, වාසුදේව නානායක්කාර, උදය ගම්මන්පිල, උදයශාන්ත ගුණසේකර එවැනි පිරිසක්. පුළුවන්නම් එයාලට එයාලගේ පක්‍ෂවලින් ඇවිත් ඡන්දය ඉල්ලලා දිනන්න කියන්නකෝ. එහෙම ඉල්ලලා ඔවුන්ට දිනන්න බැහැ. ඔවුන්ට ඡන්ද තියෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයත් එක්ක එකතු වෙලා ඡන්දය ඉල්ලුවොත් විතරයි.

මොනරාගල - සජීව බණ්ඩාර

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්