ආණ්ඩුව හදන්නේ පළාත් සභාවලට ෆෙඩරල් බලතල ලබා දෙන්නයි

  👤  3275 readers have read this article !
By mawbima 2017-09-13

ශ්‍රී ලනිප මන්ත්‍රි කණ්ඩායමට වසර අවසන් වනතුරු ආණ්ඩුවේ රැඳී සිටින ලෙස ජනාධිපතිවරා විසින් ඉල්ලීමක් කර ඇත්තේ විජාතික බෙදුම්වාදීන්ගේ අනුග්‍රහයෙන් රැගෙන එන හානිකර පනත් සහ ව්‍යවස්ථා සංශෝධන බාධාවකින් තොරව සම්මත කර ගැනීමට බව ආචාර්ය ගුණදාස අමරසේකර මහතා පවසයි.
අමරසේකර මහතා මේ බව කියා සිටියේ රාජගිරිය නාවල පාරේ පිහිටි ජාතික සංවිධාන පොදු කාර්යාලයේදී ජාතික සංවිධාන එකමුතුව විසින් ඊයේ (12දා) පවත්වන ලද මාධ්‍ය හමුවකදීය.

එහිදී මෙසේද පැවැසීය.
ජනාධිපතිවරයා ආණ්ඩුවේ සිටින ශ්‍රී ලනිප මන්ත්‍රිවරුන්ගෙන් ඉල්ලීමක් කරල තිබෙනවා දෙසැම්බර් 31 වනතුරුවත් ආණ්ඩුවේ රැඳී සිටින්න කියල. විජාතික බෙදුම්වාදීන්ගේ අනුග්‍රහයෙන් රැගෙන එන ජනතාව පීඩාවට පත්වන්නා වූ පනත් මෙන්ම රටේ ඒකීයභාවයට හානි කරවූ ව්‍යවස්ථා සංශෝධන මේ වසර අවසන් වීමට ප්‍රථමයෙන් සම්මත කර ගැනීමට උත්සාහයක් තිබෙනවා.

අලුත් බදු පනත ජනතාවගේ බොටුව හිර කරන බදු පනතක්. ඒ පනතේ ඇතුළත් වී ඇති අලුත් බදු සහ නව බදු ක්‍රමවේදයන් නිසා රටේ සමස්ත ජනතාවම පීඩාවට පත්වීම වැළැක්විය නොහැකියි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනාවන්ට අනුව කෙටුම්පත් කරන ලද නව බදු පනත, ප්‍රෝඩාකාරී ලෙස පාර්ලිමේන්තුවේ සම්මත කළ සමස්ත ජනතාවටම බලපාන පනතක් ගැන මහජන නියෝජිතයන් දැනුවත් විය යුතුයි. ඒ වගේම ඔවුන් විවාද කළ යුතුයි. නමුත් ප්‍රමාණවත් මහජන නියෝජිත සංඛ්‍යාවකට අලුත් බදු පනත ගැන පාර්ලිමේන්තුවේදී විවාද කිරීමට අවස්ථාවක් ලැබුණේ නැහැ.

රටට අහිතකර යෝජනා ඇතුළත් වූ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉතා සූක්ෂ්ම ලෙසින් තමයි සම්මත කර ගත්තේ. පළාත් සභාවලට ෆෙඩරල් රාජ්‍යයක බලතල ලැබෙන 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයත් ඒ වගේම ප්‍රෝඩාකාරී අයුරින් සම්මත කර ගැනීමට තමයි මේ අය උත්සාහ ගන්නේ.
20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත වුණොත් පළාත් සභා ඡන්දයත් කල් යනවා. නිසි කලට ඡන්දය නොපැත්වීමෙන් ජනතාවගේ ඡන්ද අයිතිය උල්ලංඝනය වෙනවා. මෙහිදී විනාශ වෙන්නේ රටක ප්‍රජාතන්ත්‍රවාදයයි.

අතුරුදන් වූවන්ගේ කාර්යාල පනත සම්මත කළා. මේ කාර්යාලයෙන් කරන්නේ යුද්ධයේදී අතුරුදන් වූ බව පැවසෙන අය ගැන සාම්ප්‍රදායික සීමාවන් අභිභවා යමින් කටයුතුකොට සාක්ෂි රැස් කිරීමයි. දැන් අතුරුදන් වූ අය පිළිබඳ ජාත්‍යන්තර ප්‍රඥප්ති පනත කියල පනතකුත් සම්මත කර ගන්න හදනවා. ඒ පනත සම්මත කිරීමෙන් පසුව, අපේ රට ත්‍රස්තවාදයෙන් මුදා ගැනීමට කැපවීම් කළ රණවිරුවන්ව ජාත්‍යන්තර යුද අධිකරණයට රැගෙන යෑමට හැකි වෙනවා.
ජනතාව පීඩාවට පත්වෙන බදු පනත්, රණවිරුවන් දං ගෙඩියට ගෙන යන අතුරුදන්වූ අය පිළිබඳ ප්‍රෝඩාකාරී පනත්, රට බෙදන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ආදිය සම්මත කිරීමට අත ඔසවන මන්ත්‍රිවරුන්ව ජනතාව විසින් පාර්ලිමේන්තුවට එව්වේ රටට ජාතියට ද්‍රෝහී වීමට නොවේ.

සපුමල් ජයසේන
ඡායා - අඛිල ජයවර්ධන

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්