රාජ්‍ය දේපළ අවභාවිත කළ නිලධාරීන්ට දඬුවම් දීම පුරවැසියන් ලත් අනභිභවනීය ජයග්‍රහණයක්

  👤  3267 readers have read this article !
By mawbima 2017-09-13

"රාජ්‍ය දේපළ අවභාවිත කළ නිලධාරීන්ට දඬුවම් ලබාදීම මෙරටේ පුරවැසියන් ලැබූ අනභිභවනීය ජයග්‍රහණයක්" යැයි මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය කියයි.
මේ සම්බන්ධයෙන් එම මධ්‍යස්ථානය නිකුත් කර ඇති නිවේදනයෙහි මෙසේ දැක්වෙයි.

රාජ්‍ය දේපළ අවභාවිත කරමින් තම මැතිවරණ ව්‍යාපාර මෙහෙයවීම මේ රටේ ආණ්ඩු බලය හිමි දේශපාලන පක්ෂවලට ආවේණික සම්ප්‍රදායක්ව පවතී. කලින් කල පත්වන ආණ්ඩු රාජ්‍ය සම්පත් භාවිත කර ඇත්තේ ඉතා නිර්ලජ්ජිත අන්දමිනි. එවන් දූෂිත ක්‍රියාමාර්ග ප්‍රශ්න කිරීමට හා ඒවාට නිසි දඬුවම් ලබාදීම සඳහා ඉදිරිපත් වීමට මෙරටේ කිසිදු ආණ්ඩුවක් මෙතෙක් මැදිහත්ව ක්‍රියාමාර්ග ගෙන නැත.

එය වඩාත් තීව්‍ර වූ මැතිවරණ වසර 2015 පැවැති ජනාධිපතිවරණයයි. රාජ්‍ය සම්පත් අවභාවිතය මහා පරිමාණමය හා වඩාත් සංවිධානාත්මක ලෙස සිදුකරමින් පැවැත්වූ එකී මැතිවරණය ඉතිහාසයට එක්වූයේ මේ රටේ සිදුකළ සුවිශාලතම රාජ්‍ය සම්පත් අවභාවිතයක් සහිත ජනාධිපතිවරණයක් ලෙසිනි. එලෙස පැවැති ජනාධිපතිවරණයට සමාන්තරව පූර්ව ජනාධිපතිවරණ කාල සමයේදී රාජ්‍ය සම්පත් අවභාවිත කිරීමේ පුරෝගාමී කාර්ය සිදුකිරීමේදී මූලිකත්වය ගන්නා ලද්දේ ජනාධිපති ලේකම් කාර්යාලය හා එය හෙබ වූ නිලධාරීන්ය.
එකී නිලධාරීන් හිටපු ජනාධිපතිවරයා ඇතුළු තම ස්වාමිවරුන් ලෙස සැලකූ බලගතු ඇමැතිවරුන්ගේ බසට අවනතව සිදුකළ ඉහළ පරිමාණයේ මූල්‍ය අවභාවිතාවන්ගෙන් එකක් වූයේ සිල් රෙදි බෙදාදීමයි. සිල් රෙදි පමණක් නොව, භික්ෂූන් වහන්සේලා වෙත සිවුරු පිරිකරද රජයේ මුදල් යොදාගනිමින් එලෙස බෙදාහරින ලදී.

මෙකී සමස්ත ක්‍රියාවලිය සිදුකරන ලද්දේ ජනාධිපතිවරණ ජයග්‍රහණය අපේක්ෂා කරමිනි. හේතුව නම් එවැන්නක් මැඬපැවැත්වීම පොලිසියට හෝ මැතිවරණ නිලධාරීන්ට එතරම් පහසු කාර්යයක් නොවීමයි. ඊට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන අවස්ථාවේදී එය ආගමික කටයුතු සඳහා මැදිහත්වීමක් යැයි අර්ථගැන්වීම ඊට හේතුවයි.

පසු කලෙක හිටපු ජනාධිපතිවරයා වූ මහින්ද රාජපක්ෂ මහතා එය නිර්වචනය කරන ලද්දේ "හාමුදුරුවනේ අපි සිවුරක්, සිල් රෙද්දක් බෙදාදුන්නම මොකද..?" යනුවෙනි.
එලෙස ඉතා සරලව විග්‍රහ කළද එකී දේශපාලන ව්‍යාපෘතියේ පිරිවැය මිලියන 600කට වඩා අධික විය. එකී වැයබර දරන ලද්දේ විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාව මඟිනි.
රජයේ සම්පත් අවභාවිත කළා පමණක් නොව, ඉතා නිර්ලජ්ජිත ලෙස ආගම ධර්මයද තම මැතිවරණ ප්‍රචාරණය උදෙසා යොදාගත් එකී කුප්‍රකට මෙහෙයුමෙහි ප්‍රතිඵල අද වනවිට ලැබී ඇත. එනම්, ඊට වගකිව යුතු ඉහළම රාජ්‍ය නිලධාරීන් හට දඬුවම් ලබාදීමට මහාධිකරණය තීරණය කිරීම මඟිනි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්