හක්කපටස් කෑ හම්බන්තොට තවත් අලි පැටවකු අසාධ්‍ය තත්ත්වයක

  👤  2942 readers have read this article !
By mawbima 2017-09-14

හම්බන්තොට - රාහුල් සමන්ත හෙට්ටිආරච්චි

හම්බන්තොට, බඳගිරිය, තංමැන්නාව යෝජිත අලි කළමනාකරණ රක්ෂිතයේ හක්කපටස් කෑමෙන් බරපතළ තුවාල ලබා සිටි වයස අවුරුදු 3ක පමණ අලි පැටවකු හම්බන්තොට වනජීවී කාර්යාලයේදී නිලධාරීන් හට හමුවී තිබේ.

අලි පැටවකු තුවාල ලබා සිටින බවට හම්බන්තොට වනජීවී කාර්යාලයේ නිලධාරීන් හට ලැබුණු තොරතුරකට අනුව පෙරේදා (12දා) උදෑසන වනජීවී නිලධාරීන් එම ප්‍රදේශයේ සිදුකළ මුර සංචාරයේදී මේ අලි පැටවා හමුවූ බව හම්බන්තොට වනජීවී කාර්යාලයේ අඩවි ආරක්ෂක ජේ.ඒ. පී. විජය කුමාර මහතා පැවැසීය.
මේ වසරේදී හක්ක පටස් කෑමෙන් හම්බන්තොටදී අලි පැටවුන් දෙදෙනකු තුවාල ලබා ප්‍රතිකාර ලබා දීමට උඩවලව ඇත් අතුරු සෙවණට භාරදුන් බවද විජය කුමාර මහතා කීවේය.

අලි පැටවා නිරීක්ෂණයෙන් පසු ඒ සම්බන්ධයෙන් උඩවලව ඇත් අතුරු සෙවණේ පශු වෛද්‍ය විජිත පෙරේරා ඇතුළු වෛද්‍යවරුන් කණ්ඩායමක් හා එහි වනජීවී නිලධාරීන් පිරිසක් එම ස්ථානයට පැමිණියහ.
කෙසේ වුවත් ඒ වන විට අලි පැටවා සිටි ස්ථානයේ සිට කිලෝමීටර් දෙකක පමණ දුරක් ඇවිද ගෙන ගොස් සිටි අතර එහිදී අලි පැටවා නිර්වින්දනය කොට එම ස්ථානයේදීම අලි පැටවාට අවශ්‍ය මූලික ප්‍රතිකාර ලබාදී ඇත. අලි පැටවාගේ තත්ත්වය අසාධ්‍ය බව වනජීවී පශු වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති පශු වෛද්‍ය විජිත පෙරේරා කියා සිටියේය.

වැඩිදුර ප්‍රතිකාර සඳහා අලි පැටවා උඩවලව ඇත් අතුරු සෙවණට ගෙන යන ලදී.
අලින්ගේ මරණවලින් හක්කපටස්වලට ගොදුරු වී මියයන අලි පැටවූ දුක්විඳ මැරෙන බව විජිත පෙරේරා කියා සිටියේය.

මේ වසරේදී උඩවලව ඇත් අතුරු සෙවණට පමණක් හක්කපටස් කාපු අලි පැටවුන් හතර දෙනකු ගෙනාවත් ඒ අය ජීවත් කරන්න වෙන්නේ ටික දවසයි. මේ වෙනකොට හක්කපටස් කාළ බේරා ගත්තු අලි පැටවුන් ඉන්නේ දෙදෙනෙක් පමණයි. එකෙක් උඩවලවේ ඇත් අතුරු සෙවණේ ඉන්නවා. අනෙක් පැටියා ගිරිතලේ ඉන්නවා.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්