ආණ්ඩු පක්ෂ සංවිධායකත් සභානායකත් ධුරවලින් ඉවතට

  👤  2980 readers have read this article !
By mawbima 2017-09-14

ත්‍යාගා ශ්‍රීමාලි බණ්ඩාර,බෙම්මුල්ල-මධුෂාන් විජයරත්න

විසිවැනි සංශෝධනයට එරෙහිව ඡන්දය ලබාදීම හේතුවෙන් බස්නාහිර පළාත් සභාවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ගුණසිරි ජයනාත් සහ සභානායක සුනිල් ජයමිණි යන මන්ත්‍රිවරු එම ධුරවලින් ඉවත් කර තිබේ.
ඉවත් කළ ධුර සඳහා නවක මන්ත්‍රිවරුන් වන චන්දන ජයකොඩි මහතා ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙසත්, හෙක්ටර් බෙත්මගේ මහතා සභානායක ලෙසත් පත්කර තිබේ.

පෙරේදා (12දා) රාත්‍රියේ ප්‍රධාන ඇමැති ඉසුර දේවප්‍රිය මහතාගේ නිවෙසේදී බස්නාහිර පළාත් සභාවේ මන්ත්‍රි මණ්ඩලය සහ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට සහාය දක්වන තවත් මන්ත්‍රිවරුන් 15කගෙන් සමන්විත පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැති හමුවකදී 20 වැනි සංශෝධනයට එරෙහිව ඡන්දය ලබාදුන් ගුණසිරි ජයනාත් සහ සුනිල් ජයමිණි යන මන්ත්‍රිවරුන් දෙදෙනා වහාම එම ධුරවලින් ඉවත් කළ යුතු බවට ඒකමතිකව තීරණය කළ බවද එම ආරංචි මාර්ග සඳහන් කරයි.
ඊයේ (13දා) මෙම මන්ත්‍රිවරුන් දෙදෙනා ධුරවලින් ඉවත් කළ බවට බස්නාහිර පළාත් සභාවේ සභාපතිවරයා විසින් ලිඛිතව දැනුම් දී තිබේ.

මේ පිළිබඳව 'මව්බිම' ට අදහස් දක්වමින් බස්නාහිර පළාත් සභාවේ ආණ්ඩු පක්ෂයේ සභානායක ගුණසිරි ජයනාත් මහතා පැවසුවේ "තවත් මන්ත්‍රිවරයකුට පළාත් සභාවේ අත්දැකීම් ලබාගැනීමට අවස්ථාව ලබාදීමේ අරමුණින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නියෝගය පරිදි මෙම ඉවත් කිරීම සිදුකළ බවට එම ඉවත් කිරීමේ ලිපියේ සඳහන් කර තිබූ බවයි.

නමුත් සත්‍ය කාරණය නම් අප 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධව ඡන්දය ලබාදීමයි. මේ සංශෝධනයට එකඟ වෙනවා යනු සියතින්ම බෙල්ල සිරකර ගැනීමක් හා සමානයි. මේකෙන් බලතල අහිමි වෙන්නේ මහ ඇමැතිවරයාගේ. අපි එතුමාට සෙතක් කරන්න හදන විට එතුමා අගමැති රනිල් වික්‍රමසිංහගේ වුවමනා ඉටුකරනවා.
මේ සම්බන්ධව අපි ඉදිරියේදී ඒකාබද්ධ විපක්ෂය සමඟින් සාකච්ඡා කරනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඡන්දය ඉල්ලූ අපිව ඉවත් කරලා එක්සත් ජාතික පක්ෂයේ අය එක්ක ආණ්ඩුව ගෙනයන්න හදනවා. අපි ඒකට විරුද්ධයි.

බස්නාහිර පළාත් සභාවේ ප්‍රධාන ඇමැති ඉසුර දේවප්‍රිය මහතාගෙන් 'මව්බිම' මේ පිළිබඳව විමසූ විට කියා සිටියේ මේ මන්ත්‍රිවරුන් දෙදෙනා ඉවත් කිරීම සම්බන්ධයෙන් විශේෂ හේතුවක් නොතිබුණු බවයි. ඕනෑම මන්ත්‍රිවරයකු ඉවත් කිරීමට තමන්ට බලය තිබෙන බව පැවැසූ හෙතෙම කියා සිටියේ සභාපතිවරයා වෙත තමන් කරන ලද ඉල්ලීමකට අනුව මෙම තීරණය ගත් බවයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්