පොලිසිය නැතිවම බැරි බව මහජනතාවට තහවුරු කළ යුතුයි

  👤  3038 readers have read this article !
By mawbima 2017-09-14

මතුගම _ වසන්ත කුමාර / ප්‍රභාන් බුලත්සිංහල

පොලිසිය තියෙන්නෙ මහජනයාටයි. ඔවුන්ගේ ආරක්ෂාව, සුරක්ෂිතතාව පොලිසියෙන් තහවුරු වීම නිසා මහජනතාවට පොලිසිය නැතුව බැරි බව තහවුරු කළ යුතු යැයි පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පෙරේදා (12දා) මීගහතැන්නේදී කීවේය.
රුපියල් ලක්ෂ 600ක් වැයකර මීගහතැන්න පොලිසිය සඳහා නව ගොඩනැඟිල්ලක් තැනීමට මුල්ගල තැබීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගිවූ පොලිස්පතිවරයා මෙසේද කීවේය.

පොලිසිය සහ මහජනයා අතර තියෙන අනේ‍යාන්‍ය විශ්වාසය, ගරුත්වය තවදුරටත් තහවුරු කළ යුතුය. ඒ අනුව ඇතිවන පැහැදීම, විශ්වාසය තුළ මහජනතාවගේ ජාතික ආරක්ෂාව තහවුරු වෙනවා. අපරාධ වැළැක්වීම සිදු වෙනවා. සියලු ආකාරයේ දූෂණ මර්දනය කිරීමට හැකිවෙනවා. නිලධාරීන්ගේ දූෂණ, අක්‍රමිකතා, මත්ද්‍රව්‍ය, අල්ලස්, වංචා පමණක් නොව නොයකුත් තාක්ෂණික මෙවලම් භාවිතයෙන් කරන දේවල් පවා නතර කිරීමට හැකිවෙනවා.
විශේෂයෙන්ම සංවිධානාත්මක අපරාධ, විවිධ සංවිධාන සිදුකරන අපරාධ, සැකකටයුතු පුද්ගලයන් ආදී සෑම දෙයක් පිළිබඳවම මිනිස්සු පොලිසියට විශ්වාසයක් ඇතිව තොරතුරු ලබාදෙන්න පෙලඹෙනවා. ඒ සඳහා මහජනතාව සහ පොලිසිය අතර විශ්වාසය ගෞරවය අනිවාර්යයි.

එම විශ්වාසය යළි තහවුරු කරගත යුතුයි. ගෞරවයේ අනන්‍යතාවය රැකගැනීම කළ යුතුයි. සියලු අපචාර දූෂණ, අපරාධ වැළැක්වීම අපේ අරමුණ බව නිතර සිහිපත් කළ යුතුයි.

මේ කටයුත්ත සාර්ථකව ඉටුකර ගැනීම සඳහා පොලිස් ස්ථාන 486 තුළම තවත් පුංචි පොලිස් ස්ථානයක් හෝ කිහිපයක් ඇති කිරීමට කටයුතු කළා. පන්සලක, පාසලක, සමිති ශාලාවක, පොදු තැනක, කාර්යාලයක, පොලිසියේ සියලු අංග ස්ථාපිත කරලා ප්‍රදේශයේ ජනතා අවශ්‍යතා ඉටු කරදීමට කටයුතු කරනවා.
එදිනෙදා ජීවිතවලට සම්බන්ධ විෂයන් හයක් යටතේ කටයුතු කරනවා. ආගමික, සංස්කෘතික, සාම්ප්‍රදායික කටයුතු, සෞඛ්‍ය ප්‍රජා සේවා, අධ්‍යාපනික කටයුතු, ක්‍රීඩා කටයුතු මේ ආදී කාරණා කරන ගමේ ජනතාව පොලිසිය සමඟ බද්ධ වෙනවා. පොලිසිය ජන සමාජයේම කොටසක් බවට බද්ධ වෙනවා.

මේ ව්‍යාපෘතිය පසුගිය ඔක්තෝබර් මාසයෙන් පටන්ගෙන ක්‍රියාත්මක කළා. හතළිස් තුන් කෝටි හැත්තෑ දෙලක්ෂයකට ආසන්න අගයක වැඩ කොටසක් රට පුරා සිදුකර තිබෙනවා. කිසිවකුගෙන් මුදලක් ලබා නොගෙන ගමේ ජනතාවගේ ශ්‍රමය, ශක්තිය යොදවලා රටට බරක් නොවී පරිත්‍යාගශීලීන්ගේද දායකත්වය ඇතිව සුවිශාල සංවර්ධන වැඩ කොටසක් කිරීමට හැකිවුණා.

දෙවැනි අදියර පසුගිය ජුනි මාසයෙන් ආරම්භ කළා. දිවයින පුරා දෙවැනි අදියරේ සිදුකළ වැඩ සටහන් පිළිබඳ වාර්තාවක් කැඳවා තිබෙනවා. ඒ අනුව මෙවර හතළිස් හත් කෝටි හැට දෙලක්ෂයක තක්සේරු වැඩ කොටසක් රට පුරා ප්‍රජා පොලිස් සේවා මඟින් සිදුකර තිබෙනවා.
මේ තුළින් බලාපොරොත්තු වූ එකම දේ මහජනයාට පොලිසිය පිළිබඳව විශ්වසනීය බව තවදුරටත් ලබාදීමයි. පොලිසිය නැතිව මහජනයාට බැහැ කියල මේ වැඩසටහන තුළ ජනතාවට ඒත්තු ගන්වන්න පුළුවන් වුණා.

මේ ආකාරයට පොලිසිය නව වෙනසකට භාජන කර තිබෙනවා. දෙපාර්තමේන්තු තත්ත්වය ශ්‍රී ලංකා පොලිසිය බවට පත්කර තිබෙනවා. රජයේ කිසිම නිලධාරියකුට නොලැබුණු ඓතිහාසික වැටුප් වැඩිවීමක් පොලිසියට වත්මන් රජය ලබාදී තිබෙනවා.

සියයට 40ක වැටුප් වැඩිවීමක් පොලිස් නිලධාරීන්ට ලබාදී තිබෙනවා. ඊට අමතරව තවත් නොයෙකුත් යටිතල පහසුකම් ලබාදී තිබෙනවා. පොලිස් නිලධාරීන්ට වැඩිදුර අධ්‍යාපන, විදේශ ශිෂ්‍යත්ව, හොඳම පොලිස් නිලධාරීන් තෝරාගැනීම, සමස්ත ලංකා තත්ත්වයට අමතර පළාතක් පොලිස් කොට්ඨාසයක් ලෙස හොඳම පොලිස් කොස්තාපල්, සැරයන්, උප පොලිස් පරීක්ෂක ආදිය දක්ෂතාව, විනය අනුව නායකත්වය අනුව තෝරාගන්නවා. පොලිස් නිලධාරීන්ට වැඩිදුර දැනුම ලබාගැනීම සඳහා පොලිස් විද්‍යාත්මක විශ්වවිද්‍යාලයක් ආරම්භ කිරීමට කටයුතු කරනවා.

පොලිස් ස්ථාන, නිලධාරීන්ගේ පහසුකම් වැඩිකරනවා පමණක් නොව පොලිස් නිලධාරීන්ට නිදහසේ කටයුතු කළ හැකි වාතාවරණයක් ඇතිකර තිබෙනවා. ජාතික පොලිස් කොමිසම අනුව කිසිවකුගේ බලපෑමක් නැතිව අවශ්‍ය ඕනෑම පැමිණීල්ලක් පොලිස් කොමිසමට ඉදිරිපත් කළ හැකිය. පොලිස් නිලධාරීන්ට තමන්ගෙ දුක් ගැනවිලි ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ අනුව සුදුස්සාට සුදුසු තැන දෙන්න පුළුවන් ක්‍රම වේදයක් හදලා තියෙනවා.
පොලිස් කොට්ඨාසවලට නිලධාරීන් පත් කිරීමේදී උසස් වීම්වලදී මෙන්ම පොලිස් ස්ථානාධිපතිවරු පත් කිරීමේදී කලින් තිබුණු පෞද්ගලික න්‍යාය පත්‍ර නැති කර සුදුස්සාට තැන ලැබෙන ආකාරයට සම්මුඛ පරීක්ෂණ තියලා තෝරාගැනීම් කර තිබෙනවා.

ඒ අනුව ලැයිස්තුවේ ඉන්නෙ කවුද කියලා සියලුදෙනා දන්නවා. යම් නිලධාරියකු වැරැදි කටයුත්තක්, දූෂණ ක්‍රියාවක් සිදුකර තනතුරෙන් ඉවත් කළොත් ඊළඟට පත්වන්නෙ ලකුණු පිළිවෙළට අනුව ලැයිස්තුවෙ ඊළඟ තැනැත්තායි. මේ පිළිබඳ නිලධාරීන්ගෙ ලොකු ප්‍රසාදයක් ඇතිව තිබෙනවා.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්