සියල්ල කළ හැක්කේ ආර්ථිකය ශක්තිමත් නම් පමණයි

  👤  3020 readers have read this article !
By mawbima 2017-09-14

විශ්වවිද්‍යාලවල විවිධ සංගම් වෙනුවෙන් රුපියල් මිලියන 100ක් වෙන් කිරීමට පසුගිය වසරේදී මා පොරොන්දු වුණා. නමුත් ඒ වන විට ගැටලු දෙකක් ඇති වී තිබුණා. එකල විවිධ අර්බුද හේතුවෙන් විශ්වවිද්‍යාලවල අස්ථාවර භාවයක් ඇතිවී තිබුණා. එමෙන්ම යම් ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමට නිසි යාන්ත්‍රණයක් නොතිබීම. මේ වන විට 100%කින් නොවුණත් විශ්වවිද්‍යාලවල වාතාවරණය ඉතා හොඳ මට්ටමකට පැමිණ තිබෙනවා. ඉදිරියේදී එය 100% දක්වා වර්ධනය වනු ඇතැයි මා බලාපොරොත්තු වෙනවා යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පැවැසීය.

අගමැතිවරයා එසේ පැවැසුවේ කුරුණෑගල ගෝනවල මාකඳුර කාර්මික ජනපදයේ පිහිටුවන ලද තාක්ෂණික පෙරවැඩුම් හුවමාරු මධ්‍යස්ථානය විවෘත කිරීමේ උත්සවයට සහභාගි වෙමිනි.

ඇමෙරිකාවේ බිල් ගේට්ස් යනු විශ්වවිද්‍යාල අධ්‍යාපනය අවසන් නොකළ පුද්ගලයෙක් බවත් මාක් සකර්බර්ග් යනු විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන් පසු ඉතා කුඩා මට්ටමින් තම ව්‍යාපාර ආරම්භ කළ අයෙක් යැයි පැවැසූ ඒ මහතා ව්‍යාපාර ඉදිරියට ගෙන යා හැක්කේ කුඩා පරිමාණයෙන් ව්‍යාපාර අරඹන බවට පවසමින් නෙඩා ආයතනයට තම ස්තුතිය පුද කළේය.
එමෙන්ම ව්‍යාපාර ක්ෂේත්‍රයේ ඇති ගැටලුව නම් යම් ව්‍යාපාරයකට මුදල් වියදම් කළ විට එම මුදල නැවත සොයා ගන්නේ කෙසේද යන්න පිළිබඳ බවත් පැවැසූ ඒ මහතා ඒ ගැටලුවට විසඳුම් සහ දැනුම දැන් වයඹ විශ්වවිද්‍යාලයේ මෙම මධ්‍යස්ථානය හරහා ලබාදීමට සූදානම් බවත් පැවැසීය.
මෙහිදී අග්‍රාමාත්‍යවරයා මෙසේද කීය.
ගමේ ශක්තිය වන්නේ ගමේ කුඩා ව්‍යාපාරිකයන්. එම කුඩා ව්‍යාපාරිකයන් නඟාසිටුවිය යුතුයි. ඔවුන්ටත් නව තාක්ෂණය, නව දැනුම ලබාදිය යුතුයි. එසේ නම් රිෂාඩ් බදියුදීන් ඇමැතිතුමා මේ සියල්ල පිළිබඳ අවධානය යොමු කරමින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් වෙනුවෙන් මෙම මධ්‍යස්ථානය ආරම්භ කර තිබෙනවා. එතුමා දිවයිනේ සෑම ප්‍රදේශයකම වැඩ කරනවා. මන්නාරම දිස්ත්‍රික්කයේ වැඩ කටයුතු සිදු කරන අතරතුර මේ ප්‍රදේශයේ කුඩා ව්‍යාපාරිකයන් වෙනුවෙන් සිදු කරන මෙහෙය අපි අගය කළ යුතුයි.

අපේ අධ්‍යාපන අමාත්‍යාංශය හරහා සියලුම පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට රක්ෂණාවරණයක් ලබා දීමට එළැඹෙන මාසේදී කටයුතු කරනවා. ඒ වගේම ඉදිරි වර්ෂයේදී උසස් පෙළ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට නොමිලයේ අයිපෑඩ් ලබාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන අතර මහා විද්‍යාල පිහිටා තිබෙන සියලුම ප්‍රදේශවල වයිෆයි මධ්‍යස්ථාන ඇති කරන ලෙස හරින් ප්‍රනාන්දු ඇමැතිතුමාට මා දැනුම්දී තිබෙනවා. අධ්‍යාපන ක්ෂේත්‍රයේ එවැනි විශාල දියුණුවක් ඉදිරියේදී ඇති වීමට නියමිතයි. මෙම කටයුතු අවසන් කිරීමට අපට හැකි වන්නේ ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැඟෙනවා නම් පමණයි. ශක්තිමත් ආර්ථිකයක් ඇති කිරීම අපේ ප්‍රධාන අරමුණක් වී තිබෙනවා.
රටේ ආර්ථිකය දියුණු කිරීමට, ප්‍රාග්ධනය වැඩි කිරීමට සුළු හා විශාල පරිමාණයේ ව්‍යාපාරිකයන්ගේ ලාභාංශ වැඩි කිරීමට සමාජයේ පහළම ස්තරයේ සිට ඉහළම ස්තරයේ පුද්ගලයා දක්වා ධනය වැඩි කිරීම ආදියට රටේ ශක්තිමත් ආර්ථිකයක් තිබිය යුතුයි. ඔවුන්ට ඒ ශක්තිය අප ලබාදිය යුතුයි.

නමුත් මේ සියල්ල කරන අතරතුර පටි තද කරගන්න යැයි අපට රටේ ජනතාවට පැවසිය නොහැකියි. ඒ වගේම අධ්‍යාපනයට ලබාදෙන මුදල කප්පාදු කිරීමට නොහැකියි. ඒ අංශයන්හිද දියුණුවක් ඇති විය යුතුයි.

ඒ වගේම මේ වන විට රැකියා අවස්ථා ලක්ෂ 4ක් බිහිකිරීමට අපට හැකි වී තිබෙනවා. විශාල කර්මාන්ත ශාලා, රබර් කර්මාන්ත ශාලා ආදී පෞද්ගලික අංශයන්ගෙන් සහ රජයේ අංශයන්ගෙන්ද කුඩා ව්‍යාපාර හා ස්වයං රැකියා අංශයන්ගෙන්ද එම රැකියා අවස්ථා බිහිවුණා. ඒ වගේම රට තුළ දරුණු ගණයේ අපරාධ 30%කින් පමණ අඩු කිරීමට අපට හැකි වුණා. ජාතික ආණ්ඩුවේ ආරම්භය ලෙස මෙම වැඩපිළිවෙළ ඉතා හොඳ බව කිව යුතුයි. නමුත් ඉන් සෑහීමකට පත් විය යුතු නැහැ. දැන් අපට සිදු කිරීමට තිබෙන්නේ රට තුළ විශාල ආර්ථික සංවර්ධනයක් ඇති කිරීමයි.

මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමටද නියමිතව තිබෙනවා. මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීමට කටයුතු සැලසුම් කිරීමෙන් පසු ඇතැම් පුවත්පත් සහ රූපවාහිනි මාධ්‍ය ආයතන මේ දිනවල මට මඩ ගසමින් සිටිනවා. අනෙකුත් ප්‍රදේශවල මෙන් වයඹ ප්‍රදේශයේත් කර්මාන්තකරණය ඇති කිරීමටත් සංචාරක ව්‍යාපාරය සංවර්ධනය කිරීමටත් අපි බලාපොරොත්තුවෙන් සිටිනවා.

ත්‍යාගා ශ්‍රී මාලි බණ්ඩාර
වඩුමුන්නේගෙදර - තිළිණි පවිත්‍රා

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්