මැතිවරණ නීති උල්ලංඝනය කරමින් සිල් රෙදි බෙදා ඇත්තේ මහින්දගේ රුව සමඟයි

  👤  3087 readers have read this article !
By mawbima 2017-09-14

සිල් රෙදි බෙදීමට නියෝග ලබා දීම සම්බන්ධයෙන් වරදක් නැතැයි හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කළද මැතිවරණ චක්‍රලේඛද උල්ලංඝනය කරමින් සිදුකළ සිල් රෙදි බෙදා දීමේදී සිල් රෙදි සමඟ මහින්ද රාජපක්ෂ මහතාගේ රුව සහිත පත්‍රිකාද බෙදා තිබෙන බව සම කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කළේය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (13දා) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවැසුවේය.
එහිදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් රාජිත සේනාරත්න සහ දයාසිරි ජයසේකර යන අමාත්‍යවරු මෙසේ කීහ.
සිල් රෙදි නඩුවේදී හිටපු ජනාධිපතිවරයා පිළිගෙන තියෙනවා ඔහු තමයි ඒ ව්‍යාපෘතියට උපදෙස් දුන්නේ කියලා.

රාජිත සේනාරත්න - එයයි නියෝග දුන්නේ. හිමිවරුන් නෑ කියනවා. බෙදපු සිල් රෙදිත් එක්ක දීලා තියෙනවා පත්‍රිකාවක් මහින්ද රාජපක්ෂට ඡන්දය දෙන්න කියලා. උපාසක අම්මලට වෙලාව බලාගන්න මහින්ද රාජපක්ෂගේ පින්තූරය දාලා. 2014 සැප්තැම්බර් 11දා මැතිවරණ කොමසාරිස්වරයා ලියලා තියෙනවා උෟව පළාත් මහ මැතිවරණයේදී නීති රීති උල්ලංඝනය කිරීම් ගැන. මැතිවරණ කොමසාරිස්වරයා නැවත නොවැම්බර්වල චක්‍රලේඛයක් යවනවා. රජයේ කිසිදු අමාත්‍යාංශ ලේකම්වරයෙක් හෝ නිලධාරියෙක් වක්‍රව හෝ සෘජුව හෝ කිසිදු අපේක්ෂකයකු ප්‍රවර්ධනය කරන්න හෝ අගතියට පත්වෙන්න හරි අනුබල දීමෙන් වැළැකී සිටිය යුතුයි කියලා. ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනයත් ලිඛිතව කියලා තියෙනවා සිල් රෙදි බෙදීම 1981 අංක 15 දරන පනතේ 79 වගන්තිය යටතේ අල්ලස පිළිබඳ වරදක් බව. මේ අල්ලස් චෝදනාවට තමයි අද සමහර හාමුදුරුවරු පිඬුසිඟා වඩින්න යන්නේ.

දැන් ගැටලුව හිටපු ජනාධිපතිවරයා එකී වගකීම භාරගන්නවා කියනවා. 19 වැනි සංශෝධනයේ පැනවූ යම් කොන්දේසි මත ජනාධිපතිවරයෙක් උසාවියකට ගේන්න පුළුවන්. එතුමා අධිකරණ තීන්දු ගැන කතා කරනවා මොකද්ද මේ සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියා මාර්ගය වෙන්නේ.

රාජිත සේනාරත්න
එතුමාට මේ ප්‍රකාශ කරන්න තිබුණෙ කලින්. දැන්නේ වීරයා වගේ කතා කරන්නේ. වැරැද්ද කළේ එයා කියලා ඔප්පු වෙනවද දවස් 24ක් නඩුව විභාගය වුණා. එක දවසක ඇවිත් අධිකරණයට කියන්න තිබුණනේ. කරන්නේ නැතිව ඉඳලා බොරුවට දැන් වැලිකඩට ගිහින් එන ගමන් කියවනවා වීරයා වගේ.
දයාසිරි ඇමැතිතුමා ඔබතුමත් ඔය සිල් රෙදි බෙදා දෙන සමයේ කුරුණෑගල ප්‍රදේශයේ හිටියා ඔබතුමාගේ අත්දැකීම මොකද්ද?
දයාසිරි ජයසේකර - මං සිල් රෙදි බෙදන්න කිසිම තැනකට සම්බන්ධ වුණේ නෑ. සමහර තැන්වල හාමුදුරුවරු මේ ලියුම් ගියාට පස්සේ බයට තියාගෙන හිටිය බව නම් මං දන්නවා.

වරදකරුවන් වුණු හැමෝම කෙළින්ම යන්නේ බන්ධනාගාර රෝහලට. පක්ෂ විපක්ෂ එකඟතාවක්වත් තියෙනවද එහෙම යන්න.
රාජිත සේනරත්න - එම නිසා තමයි බන්ධනාගාර ඇමතිවරයා කිව්වේ මීට පස්සේ යනවා නම් වෛද්‍යවරු 4 දෙනෙක් අනුමත කළ යුතුයි කියලා.
දයාසිරි ජයසේකර - අධිකරණයෙන් තීන්දුව දුන් පසු දඬුවම් ලිහිල් කිරීම ගැන ජනාධිපති නීතිඥවරයා දැක්වූ කරුණුවල දක්වනවා දියවැඩියා රෝගය, අක්මාව ඉදිමිලා ඒ වගේ තත්ත්වයක්. මේවා උසාවියට කිව්වාම ඒ මත අවසර දෙන්න පුළුවන්.

හාමුදුරුවරු ලොකු හඬක් නඟනවා මේ නඩු තීන්දුව වැරැදියි අපි පිඬුසිඟා වැඩලා හරි සල්ලි හොයනවා කියලා. නමුත් නඩු තීන්දුව වෙනුවෙන් පෙනී සිටින හාමුදුරුවරු පේන්න නැහැ.

රාජිත සේනාරත්න - හොඳට බලන්න ඔය හාමුදුරුවරු කාත් එක්කද ඉන්නේ කියලා. පසුගිය කාලේ කොහොමද කොහෙද හිටියේ කියලා. එයාලටමනේ අමාරුව තියෙන්නේ. පොල් ගෙඩි අටක් හොරකම් කරලා හිරේට ගිහින් දඬුවම් දෙනකොට එදා තමයි හාමුදුරුවන්ට පිඬුසිඟා වඩින්න තිබුණේ. ඒ අහිංසකයන්ව බේරා ගන්න.
බන්දුල ගුණවර්ධන මන්ත්‍රිවරයා පාස්කරලිංගම් ගැන චෝදනාවක් එල්ල කරනවා.

රාජිත සේනාරත්න - ඒ ගොල්ලන්ගේ ජාතිවාදයනේ තියෙන්නේ. නම දෙමළ වුණාම කොටියා. අපි ඉගෙන ගන්න කාලේ කොටි හිටියේ නෑ. කිව්වේ තලයා කියලා. මයික් එකක් ගාවට ගිහින් කිව්වට දඬුවම් දෙනවද? එයා අගවිනිසුරුද ලංකාවේ?
අරුන්දික ප්‍රනාන්දුව ඉවත් කිරීම ආණ්ඩුවේම මතයක්ද?
රාජිත සේනාරත්න - ආණ්ඩුවේ අග්‍රගණ්‍ය තීන්දුවක් තමයි.

දයාසිරි ජයසේකර - ආණ්ඩුව ඇතුළේ ඉඳන් ශ්‍රී ලනිපය විවේචනය කරන්න බෑ. පක්ෂය ඇතුළේ ඉඳලත් බෑ.
ආණ්ඩුවෙන් 18ක් එනවා කිව්වා මුලදී දැන් ටික ටික අඩුවෙනවා මේ තීන්දු තීරණ නිසාද?
රාජිත සේනාරත්න - දැන් එකට බැහැලා තියෙන්නේ.
හිටපු ක්‍රිකට් තේරීම් කමිටුව අස් වුණාට පස්සේ පාකිස්තානු තරග සංචාරය සඳහා සංචිතයක් තෝරලා තියෙනවා නේද?
දයාසිරි ජයසේකර - නෑ. සංචිතයක් නම් කළේ නෑ. පුහුණුවීම් තරග සඳහා පමණක් 25 දෙනෙක්ගේ කණ්ඩායමක් තෝරලා ගියේ හිටපු තේරීම් කමිටුව තමයි. ඒ අතරින් තෝරා ගැනීම සඳහා වැඩපිළිවෙළට අවශ්‍ය තේරීම් කමිටුව මං දවසක් දෙකක් ඇතුළත පත් කරන්න බලාපොරොත්තු වෙනවා.
සයිටම් ගැටලුව තවම නිසි ආකාරයෙන් විසඳුණේ නෑ නේද?

රාජිත සේනාරත්න - වෛද්‍ය සභාවේ නිර්දේශයන් සහිත වාර්තාවක් එක්ක ඔවුන්ගේ කැමත්ත අකැමැත්ත අනුවයි අපි කටයුතු කරන්නේ. වෛද්‍ය සභාව එලෙස අපි සමඟ ඉද්දී තමයි වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩ වර්ජනය කරන්නේ.

ජගත් ජයසූරිය හිටපු හමුදාපතිවරයා ගැන එල්ල වෙන චෝදනා ගැන ආණ්ඩුවේ අදහස
රාජිත සේනාරත්න - ජගත් ජයසූරියට විරුද්ධව රටවල් 6ක් සම්බන්ධයි කියලා එහෙම කිසිම දෙයක් නෑ. ස්පාඤ්ඤ ජාතික නීතිඥවරයෙක් බ්‍රසීලියානු අධිකරණ අමාත්‍යාංශයට දන්වලා තියෙනවා එහෙම අපරාධවලට සම්බන්ධ අය තනතුරුවලින් අයින් කරන්න කියලා. මාධ්‍යවලින් තමයි ඉතුරු කතා ප්‍රචාරය කරලා තියෙන්නේ.
ජගත් ජයසූරිය මහතාට චෝදනා එල්ල වෙනවා වගේම සරත් ෆොන්සේකා කරනු ලබන ප්‍රකාශ නිසා බොහෝ සංවිධාන උද්ඝෝෂණ කරනවා.
රාජිත සේනාරත්න - එතුමා ආණ්ඩුවේ ඇමැතිවරයෙක් වගේම එතුමා තමයි යුද්ධය ඉවර කරන්න නායකත්වය දුන්නේ. ඔහුගේ හතුරන් පවා මට ඒ දවස්වල කිව්වේ මේ මනුස්සයා නැත්නම් යුද්ධය දිනන්න බෑ කියලා. ඔහු කීප විටක්ම කිව්වා යුද්ධයට සහභාගි වීම සහ යුද්ධයේ වගකීම භාරගන්නවා කියලා. යුද්ධය මුවාවෙන් යම් අය අපරාධ කරලා තියෙනවා නම් ඒවාට විරුද්ධව පෙනී ඉන්නවා කියලා ඒ කාලේම ප්‍රකාශ කළා.
ඔබතුමාට රට භාරගන්න වෙයි කියලා අගමැතිතුමා ප්‍රකාශ කරලා තියෙනවා නේද?

රාජිත සේනාරත්න - ඔක්කොම වැරැදි කෑලි ටික අල්ලගෙන තියෙන්නේ. භාරගන්න කියලා මට කිව්වේ නෑ. රාජිත හැමදාම ඇමැතිවරයෙක් වෙලා ඉන්නේ නෑ. වගකීම් භාර ගන්න පුද්ගලයෙක් වෙනවා. ඒ නිසා පෞද්ගලික අංශය සමඟ කටයුතු කරන්න කියලා.
ජවිපෙ ඔබතුමාට චෝදනාවක් කරනවා මෝදර වරාය සමාගමට දීම හරහා අක්‍රමිකතාවක් වෙලා කියලා.

රාජිත සේනාරත්න - අපි මෝදර වරාය වහලා තමයි දික්ඕවිට වරායට ගියේ. මෝදර වරායට ගෙනත් දැම්මේ නීති විරෝධීව ඕස්ට්‍රේලියාවට යන බෝට්ටු ටික නිකංම නිකං වහලා දාලා තිබෙන නිසයි සමාගමට දුන්නේ. එහි තක්සේරු වාර්තා හැදුවේ වරලත් ගණකාධිකාරවරයෙක්.

පහන් විජේසේකර

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්