අකුරැස්ස හිටපු ප්‍රා. සභාපතිට එරෙහි නඩුව නොවැ: 27-28 විභාගයට

  👤  3022 readers have read this article !
By mawbima 2017-09-14

කේ.එස්. උදයකුමාර්

පාසල් දැරියක් දූෂණය කළ බවට චෝදනා එල්ල වී තිබෙන අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සාරුව ලියනගේ සුනිල් නැමැති අයට එරෙහිව නීතිපතිවරයා ගොනුකර ඇති නඩුව විභාග කිරීම සඳහා කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් විජේරත්න මහතා දින නියම කළේය.
ඒ අනුව අදාළ නඩුව නොවැම්බර් මස 27 සහ 28 යන දිනවල විභාගයට ගන්නා බව විනිසුරුවරයා නියෝග කළේය.
එදිනට සාක්ෂි දීම සඳහා අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි මහාධිකරණ විනිසුරුවරයා සාක්ෂිකරුවන්ට දැනුම් දුන්නේය.
නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ අධිචෝදනා පත්‍රවලින් සඳහන් කර ඇත්තේ විත්තිකාර අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයා තමන් යටතේ සේවය කළ අඹුසැමි යුවළකගේ 14 හැවිරිදි පාසල් දැරියක් දූෂණය කර ඇති බවයි.

මෙම සිද්ධියට අදාළ අධි චෝදනා පත්‍ර භාරදීමෙන් පසුව තමන් එම චෝදනාවලට නිවැරදිකරු බවට විත්තිකරු අධිකරණයට දැන්වීය.
ඒ අනුව විත්තිකරු ඇප මත මුදාහැර ඇති කොළඹ මහාධිකරණය අනතුරුව නඩුව විභාගයට ගැනීමට නියෝග කර තිබේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්