නිවැරැදි දේ කරන්න අපේ ආණ්ඩුව දන්නවා

  👤  2929 readers have read this article !
By mawbima 2017-09-14

රජයේ සේවකයන් දේශපාලනඥයන්ගේ බලපෑමට අනුව නීති විරෝධීව කටයුතු කළහොත් අවසානයේ ඔවුන් බේරා ගැනීමට කිසිදු පුද්ගලයෙක් නොමැති බවත් වත්මන් රජය රජයේ නිලධාරීන්ට පූර්ණ නිදහස ලබාදී ඇති බවත් අධිකරණ හා විදේශ රැකියා ඇමැතිනි තලතා අතුකෝරල මහත්මිය සඳහන් කළාය.
අමාත්‍යවරිය මේ අදහස් ප්‍රකාශ කළේ පසුගියදා ගංවතුර තත්ත්වය හේතුවෙන් ආපදාවට පත් පුද්ගලයන් වෙනුවෙන් රජය මඟින් ලබාදෙන චෙක්පත් ලබාදීමේ වැඩසටහනකට රත්නපුර, ඇලපාත මහා විද්‍යාලයේදී පැවැති උත්සවයකට එක්වෙමිනි.

එහිදී තවදුරටත් මෙසේද පැවසුවාය.
පසුගිය දවසක මේ රටේ හිටපු සුවිශේෂී සිවිල් සේවකයකු වූ හිටපු ජනාධිපති ලේකම්වරයෙක් අත්අඩංගුවට පත්වෙනවා. අනවශ්‍ය දේශපාලන බලපෑම් නිසා අකැමැත්තෙන් වුණත් කරන දේවල්වලට වගකියන්න වෙන්නේ නිලධාරීන්ට. මම මගේ කොට්ඨාසයේ වැඩකරන කොට ප්‍රාදේශීය ලේකම්වරුන්ට හා වෙනත් නිලධාරීන්ට වෙන කිසිම දවසක නොතිබුණු නිදහසක් දීලා තියෙනවා. මම බලාපොරොත්තු වෙනවා ඔවුන් තම බලය අනිසි විදිහට යොදවන්නේ නැතිව රාජකාරි ඉටුකරයි කියලා.

අඩු ආදායම් ලාභීන්ට දෙන්න තිබුණු එකම වරප්‍රසාදය තමයි සමෘද්ධි සහනාධාරය. සමෘද්ධිය සම්බන්ධයෙන් සමීක්ෂණය කරනකොට ඇතැම් නිලධාරීන් අහිංසකයන් පෙලඹුවා උද්ඝෝෂණය කරන්න. කාර්යාල වටලන්න. අපි එහෙම රජයක් නෙවෙයි. හරිදේ හරියට කරන රජයක්. ඒ නිසයි 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් තීරණයක් ගත්තේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සේවය කරන නිලධාරීන් මැතිවරණයට ඉදිරිපත් වෙනවා නම් ඊට අවුරුද්දකට කලින් සේවයෙන් ඉවත් විය යුතුයි කියලා. එහෙම නැතිනම් දේශපාලන පක්ෂය බලලා සමෘද්ධිය දෙන්නේ සුදුස්සාට නෙවෙයි. මේ වගේ තත්ත්වයක් නම් තියෙන්නේ අපි රටක් හැටියට කවදාවත් ගොඩයන්නේ නෑ. රාජ්‍ය සේවකයන් දේශපාලනය කරලා අවසානයට ලැබෙන දේ මොකක්ද කියන එකට හොඳ උදාහරණයක් තමයි පසුගියදා ලැබුණේ. අවසානයේ කිසි කෙනෙක් නෑ.

මේ ආණ්ඩුව යටතේ ඕනෑම කෙනෙක්ට උද්ඝෝෂණ කරන්න අයිතිය තියෙනවා. මුළු ලෝකයම අද විශ්වාස කරනවා මෛත්‍රිපාල සිරිසේන මහතාගේ රජය යටතේ අද අදහස් ප්‍රකාශ කරන්න අයිතිය ලැබිලා තියෙනවා කියලා. අද මේ රජය හරිදේ කරන්නත් අවශ්‍ය කෙනාට අවශ්‍ය විදිහට සලකන්නත් දන්නවා. මේ හැමදේකම අවසන් උත්සාහය මේ රටේ තැළෙන පෑගෙන මනුස්සයා නඟා සිටුවීමයි.

සිදත් මෙන්ඩිස්

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්