මාස පහලොවක් ගතවෙලත් ගැටලු නොවිසඳීමෙන් විරෝධතාවක

  👤  2933 readers have read this article !
By mawbima 2017-09-14

පනාගොඩ - චම්පා ජීවන්ති

කොස්ගම සාලාව යුද හමුදා කඳවුරේ ගිනි අවි ගබඩාව පිපිරී මාස 15ක පමණ කාලයක් ගත වුවද එම පිපිරීමෙන් පීඩාවට පත් වූ ජනතාවගේ නොවිසඳුණු ගැටලු සඳහා බලධාරීන්ගේ අවධානය මෙතෙක් යොමුවී නැතැයි පවසමින් කොස්ගම සාලාව ප්‍රදේශවාසීන් පිරිසක් ඊයේ (13දා) උදෑසන සීතාවක ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිටදී විරෝධතාවක නියැළිණි.

හංවැල්ල පහත්ගම මංසන්ධියට රැස් වූ දෙසීයකට ආසන්න විරෝධතාකරුවන් එතැන් සිට විරෝධතා පාඨ කියමින් විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් සීතාවක ප්‍රාදේශීය ලේකම් කාර්යාලය දක්වා පැමිණ එම කාර්යාලය ඉදිරිපිටදී පැයක පමණ කාලයක් විරෝධතාව පළ කළ අතර පසුව විරෝධතාකරුවන් හංවැල්ල ප්‍රාදේශීය ලේකම්වරිය හමුවීම සඳහා ලේකම් කාර්යාල පරිශ්‍රයට ඇතුළුවීමට පැමිණියද ආරක්ෂක අංශ මඟින් ඒ සඳහා අවස්ථාව ලබා නොදුන් බැවින් පසුව ලේකම් කාර්යාලයීය පිවිසුම් ‍ෙදාරටුව ඉදිරිපිටද නැවතත් විරෝධතාව පළ කරන ලදී.

අනතුරුව හංවැල්ල පොලිසියේ මැදිහත්වීමෙන් සීතාවක ප්‍රාදේශීය ලේකම් එච්. එස්. දිල්හානි මහත්මිය විරෝධතාකරුවන් ඉදිරියට පැමිණි අතර එහිදී විරෝධතාකරුවන් රැගෙන පැමිණි පීඩාවට පත් ජනතාවගේ නොවිසඳුණු ගැටලු ඇතුළත් ලිපියක් ලේකම්වරිය වෙත ලබාදීමට කටයුතු කර පිරිස විසිර යන ලදී.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සාලාව අවි ගබඩාව පිපිරීමෙන් හානියට පත් ජනතා එකමුතුව සංවිධානයේ ලේකම් චන්දන සූරියාරච්චි මහතා -
අපි මාස 15ක් මේ ගැන බලා හිටියා. අවි ගබඩාව පිපිරුණු ජුනි මාසයේ ස්වයං රැකියාවේ නිරත වූ අයගේ වන්දි මෙතෙක් ගෙවා නැහැ. ඒ වගේම ව්‍යාපාරික වන්දිත් ගෙවා නැහැ. ව්‍යාපාරිකයන්ට දෙනවා කිව්ව කඩ කාමර මෙතෙක් ලබාදී නැහැ. සම්පූර්ණ හා අර්ධ හානි සිදුවූ නිවාසවල තක්සේරු කටයුතු වැරැදියි. යළි තක්සේරු කළ යුතුයි. වගා හානිවලට ගෙවීම් කර නැහැ. හානි සිදුවූ රථ වාහන වන්දි ලබාදීම කඩිනම් කළ යුතුයි. එවැනි ගැටලු රාශියක් තවමත් පවතිනවා. එහෙත් බලධාරීන් මේ සම්බන්ධව අවධානය දැන් අත්හැර දමා තිබෙනවා යැයිද පැවැසීය.

සාලාව අවි ගබඩාව පිපිරීමෙන් හානි සිදුවූ ජනතාවගේ ගැටලු සම්බන්ධයෙන් වර්තමානයේ පවතින තත්ත්වය පිළිබඳ සීතාවක ප්‍රාදේශීය ලේකම් එච්. එස්. දිල්හානි මහත්මියගෙන් විමසූ අවස්ථාවේදී ඇය ඒ සම්බන්ධයෙන් කිසිවක් පැවැසීමට නොහැකි බවත් විරෝධතාකරුවන් ලබා දුන් ලිපිය අදාළ අංශවලට යොමු කිරීමට ඉදිරියේදී කටයුතු කරන බව පැවැසුවාය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්