ඩෙංගු මදුරුවාට බිලිවුණු හිත හොඳ ‍ෙදාස්තර නෝනා

  👤  3171 readers have read this article !
By mawbima 2017-09-21

ඉමදුව - ටී. විතානවසම් / ගාල්ල - එච්. පරණවිතාන

ගාල්ල කරාපිටිය රෝහලේ ස්නායු රෝග අංශයේ වෛද්‍ය නිලධාරිනියගේ අභාවය එම පවුලට පමණක් නොව කරාපිටිය රෝහල් සේවකයන්ගේ සහ මැටරඹ ගිනිගල ගම්වැසියන්ගේද සිත් සතන් සලිත කරන පුවතක් විය. මාරාන්තික ඩෙංගු රෝගයට බිලි වූ තවත් එක් අයකු ලෙස ඇය සටහන් වෙද්දී ඇය කළ සේවාව රෝහල් සේවකයන්ගේද, ගම්වැසියන්ගේද ගෞරවයට පාත්‍ර වී තිබිණි.

පනස්දෙහැවිරිදි වෛද්‍ය එම්. අනෝමා ජයවර්ධන මහත්මිය තිදරු මවක් වන අතර හබරාදුව ගිනිගල ප්‍රදේශයේ පදිංචි වී සිට ඇත. තම රාජකාරිය දේවකාරියටත් වඩා ඉහළින් කරන ඇය සිය දරුවන් තිදෙනා ගැනද විශේෂ අවධානය යොමු කළේ දරුවන් සමාජයේ කාහටවත් කරදරයක් නොමැතිව ජීවත් වීමට පුරුදු කර වීම සඳහාය.
ඩෙංගු රෝගය නිසා රෝහල් ගතකර ඇති අතර මියයන විට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියාය. ඇයගේ දෙවැනි දියණිය වන ගාල්ල සංඝමිත්තා විද්‍යාලයේ 09 වැනි වසරේ ඉගෙනුම ලබන දියණියද ඩෙංගු වැලඳීමෙන් ඇය සමඟින්ම ප්‍රතිකාර ගත්තද දියණිය සුවපත් විය. කොළඹ විශාඛා විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ ඇය මුල සිටම අධ්‍යාපනයට අති දක්ෂයෙකි. කොළඹ විශ්වවිද්‍යාලයෙන් වෛද්‍ය උපාධිය හැදෑරූ අනෝමා මහත්මිය සේවා ස්ථාන කිහිපයක රාජකාරි කර ඇති අතර මියයන විට ඇයගේ රාජකාරි ස්ථානය වූයේ ගාල්ල කරාපිටිය රෝහලයි.

අනෝමා ජයවර්ධන මහත්මියගේ සැමියා වන එස්. ආර්. පී. ජයවර්ධන මහතා වෘත්තියෙන් තේ පරීක්ෂකවරයකු වන අතර ඔහු වලහන්දූව ප්‍රදේශයේ සේවය කරයි. ඇයගේ දරුවන් තිදෙනාගෙන් වැඩිමහල් දරුවා වෛද්‍ය විද්‍යාලයට තේරී පත්වී ඇති අතර දෙවැනි දියණිය ගාල්ල සංඝමිත්තා විද්‍යාලයේද, පුතණුවන් ගාල්ල මහින්ද විද්‍යාලයේ ද ඉගෙනුම ලබයි. සැමියාට සිය බිරියගේ වියෝවද. දරුවන්ට මව ගේ වියෝවද දැඩි කම්පනයක් ඇති කර ඇති බව අවමඟුලට සහභාගි වූ සැමට දැකගත හැකි විය.
ඇය රටට, සමාජයට සිදුකළ මෙහෙවර අති විශාලය. තවත් මෙහෙවරක් සිදුකළ හැකිව තිබියදී ඇය හිරු අවරට ගිය සැන්දෑවේ අකාලයේ සදහටම සමුගත්තාය.
ඇය ගැන ගම්වැසියකු වූ ලැසි නෝනා උපාසිකාව මෙසේ කීවාය. ‍ෙදාස්තර නෝනගේ හිත හරිම හොඳයි. කතා කළත් ලෙඩේ සුව වෙනවා. හරිම කරුණාවයි. අපට දෙවියෙක් වගේ. ගමට, ප්‍රදේශයට, සමාජයට සේවය කළා. උපකාර කළා. අපිට ජීවිතය දුන්න ඇය අපිටත් කලින් ගියා.

සිරිසේන වික්‍රමනායක මහතා
‍ෙදාස්තර කෙනෙක්ට මෙහෙම නම් අපි වාගේ මිනිස්සුන්ට මේ තත්ත්වය කොහොමද කියලා හිතෙනවා. මේ දැන උගත් අය. නමුත් මේ අයටත් ඩෙංගු මදුරුවාගෙන් බේරෙන්න බැරි වුණා. ඩෙංගු මර්දනයට පිළියම් යොදන්න වෙනවා. රට රටවල්වල නම් මේවාට ප්‍රතිකාර තියෙනවා. ලංකාවේ තාම නෑ. මේවාට සෞඛ්‍ය අංශ වගකියන්න වෙනවා. ‍ෙදාස්තරලාටත් මෙහෙම නම් මේ රටේ අහිංසක ජනතාවට කාගේ සරණක්ද කියලා අපි අහනවා.

‍ෙදාස්තර නෝනා ගැන රෝහල් කාර්ය මණ්ඩලය මෙන්ම ගම්වාසීන්ද ඇගේ ගුණ ගැයුවේ ඇය අප අතරින් සමුගත් නිසාම නොවෙයි. ඇය සැබවින්ම සමාජයට සිදුකළ මෙහෙවර නිසා විය යුතුය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්