නිල්වලා විද්‍යා පීඨය නවක වධය නිසා කැලඹේ

  👤  3265 readers have read this article !
By mawbima 2017-09-21

මාකඳුර _ අජිත් ලංකාතිලක

අකුරැස්ස නිල්වලා ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ නවක සිසුවියන් පිරිසකට ජේ‍යෂ්ඨ සිසුන් විසින් නවක වධය දීම හේතුවෙන් ඉකුත්දා රාත්‍රි කාලයේ ඉතා උණුසුම් තත්ත්වයක් හටගෙන ඇත.

සිද්ධියට මුහුණ දුන් සිසුවියන්ගේ මවුපියන් පවසනුයේ සවස් කාලයේ ජේ‍යෂ්ඨ සිසුන් විසින් නවක සිසුවියන්ට නවක වදය දී ඇති බවත්, ඒ අතර ඉතා පහත් අන්දමේ වචන භාවිත කරමින් නවක සිසුවියන්ට ආමන්ත්‍රණය කළ බවත්, මේ හේතුව නිසා සිසුවියන් දෙදෙනකු සිහිසුන්ව ඇද වැටී ඇති බවය.
රාත්‍රි ආහාර ගැනීමට භෝජනාගාරයට යන අතරේ විදුලිය විසන්ධිකොට සිසුවියන්ට ගල්වලින් පහරදී බාධා සිදුකොට ඇති අතර, එම අවස්ථාවේ පීඨාධිපතිවරයා නොසිටි බැවින් නියෝජ්‍ය පීඨාධිපතිනිය ආරක්ෂක අංශයේ සහයෝගයද ඇතිව සිද්ධිය සමථයකට පත්කොට විදුලිය නැවත ලබාදීමට කටයුතු සිදුකර ඇති බවද මවුපියෝ වැඩිදුරටත් පැවැසූහ.

මේ සම්බන්ධයෙන් අකුරැස්ස නිල්වලා ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ පීඨාධිපති සුනිල් සේදර සෙනරත් මහතාගෙන් කළ විමසීමකදී ප්‍රකාශ කර සිටියේ එම සිද්ධියෙන් අනතුරුව රාත්‍රි කාලයේම සියලු සිසුන්ගේ හදිසි රැස්වීමක් කැඳවූ බවත්, මේ සම්බන්ධයෙන් කොමසාරිස්වරයාටද දැනුම් දී ඇති බවත් මේ සිද්ධියට අදාළ සිසුන්ට එරෙහිව ඉදිරියේදී විනය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්