මහින්ද මහත්තයා තමයි අපේ දුටුගැමුණු කුමාරයා

  👤  3248 readers have read this article !
By mawbima 2017-09-21

අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති බවත් මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා වැඩිය සලකන්නේ ලක්ෂ්මන් කිරිඇල්ලටද ඩිලාන් පෙරේරාටද කියා ඉදිරියේ බලාගත හැකිවන බවත් ශ්‍රී ලංකා පොදුජන පක්ෂයේ බදුල්ල දිස්ත්‍රික් සංවිධායක හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම මහතා පවසයි.
ඒ මහතා මේ බව පැසුවේ ඉකුත් දා හාලිඇළ ඇටම්පිටිය උෟව මහවෙල ප්‍රදේශයේදී පැවැති ජනහමුවක් අමතමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද කීය.

"මේ යහපාලන ආණ්ඩුව ඒකාබද්ධයට සෑහෙන්න නඩු දමා තිබෙනවා. මටත් නඩුවක් තිබෙනවා ලංගමයට උප සභාපති කෙනෙක් පත්කරගැනීම ගැන. ඒත් නඩු පිට නඩු දැම්මත් අපිට බය වෙන්න දෙයක් නෑ. අපි නිවැරැදි නම් අපි බය වෙන්න ඕන නෑ. මම බය නෑ.

මේ ආණ්ඩුව ගැන නම් කතා කරලා වැඩක් නෑ. මම හොඳ ශ්‍රී ලංකා කාරයෙක්. ඒ නිසා මම එ.ජා.ප.ය සමඟ වාඩි වෙන්න කැමැති නෑ. මොකද සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රජා අයිතිය නැති කළේත් එක්සත් ජාතික පක්ෂය. එදා ජේ.ආර්. ජයවර්ධන මහත්තයා බයවුණා 1982 ජනාධිපතිවරණයට මැතිනිය ඉදිරිපත් වුණොත් එයා පරදියි කියා. ඒ නිසා මැතිනියගේ ප්‍රජා අයිතිය නැති කළා. එහෙම කළ එ.ජා.ප.යත් එක්ක අපි කොහොමද එකතු වෙන්නේ. මේ දෙක පෑහෙන්නෙ නෑ.
ඒ කාලෙ සාමාන්‍ය පන්තියේ මිනිස්සුන්ගේ පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. ධනපතියන්ගේ පක්ෂය එ.ජා.ප.ය. ඒ නිසයි බණ්ඩාරනායක මහත්තයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ගියේ. මහින්ද මහත්තයාගෙ තාත්තා ඩී.ඒ. රාජපක්ෂ මහත්තයත් ඒත් එක්ක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ගියා. ඒ නිසා මහින්ද මහත්තයාට මේ පක්ෂයේ අයිතියක් තියෙනවා.

සිරිමාවෝ මැතිනියගේ පුතා අනුර බණ්ඩාරනායක මහත්තයා අම්මව දාලා යූ.එන්.පී.යට ගියා. චන්ද්‍රිකා නෝනත් විජය කුමාරතුංග මහත්තයත් එක්ක වෙනම පක්ෂයක් හදාගෙන අම්මව දාලා ගියා. ඒ දෙන්නම යනකොටත් මැතිනිය ආරක්ෂා කරගෙන, මැතිනිය එක්ක හිටියේ මහින්ද රාජපක්ෂ මහත්තයා. ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අයිතිය තියෙන්නේ මහින්ද මහත්තයලට - අපිට.

පසුගියදාක මෛත්‍රිපාල සිරිසේන මහත්තයා මහාමාර්ග ගැන රූපවාහිනියේ කතා කළා. මාර්ග ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහත්තයත් මාර්ග රාජ්‍ය ඇමැති ඩිලාන් පෙරේරා මහත්තයත් හිටියා. මධ්‍යම අධිවේගී මාර්ගය හදනකොට සිදුවුණුු දූෂණ ගැනයි කතා කළේ. එහිදී ඩිලාන් පෙරේරා මහතා කතා කළේ ඇමැති කිරිඇල්ල මහත්තයාට විරුද්ධව. එයා සිදුවූ දූෂණ පෙන්වා දුන්නා. ජනාධිපතිතුමත් ඒ වැරැදි වටහාගත් බව පෙනුණා. දැන් අපි බලා ඉන්නේ ජනාධිපතිතුමා ඒ ගැන ගන්නා තීරණය දෙසයි. ඒ තීරණය අනුව ඉදිරියේදී අපිට බලාගන්න පුළුවන් මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා වැඩිය සලකන්නේ ලක්ෂ්මන් කිරිඇල්ල මහත්තයාටද ඩිලාන් පෙරේරා මහත්තයාටද කියලා.
දැන් ලලිත් වීරතුංග මහත්තයත් අනූෂ පැල්පිට මහත්තයත් බන්ධනාගාරගතව ඉන්නේ සිල් රෙදි බෙදුවා කියලා. ඒත් උසාවි තීන්දුවේ තියෙනවා මේ දෙන්නම සිල් රෙදි බෙදුවෙ නෑ කියලා. මේ අයට තියෙන චෝදනාව මේ සඳහා විදුලි සන්දේශ නියාමන කොමිසමෙන් ගත් මුදල වැරැදි ආකාරයට ගත්තා කියලයි. ඒත් මේ ආණ්ඩුවත් ටී.ආර්.සී. එකෙන් මුදල් ගන්නවා. එහෙම නම් ඒ අයත් ඉන්න ඕන බන්ධනාගාරයේ.

අද රටේ බහුතරය ඉන්නේ මහින්ද මහත්තයා සමඟ. හැමෝම ඉල්ලන්නේ මහින්ද මහත්තයාව. කවුද අද රටේ ඉන්න ජනප්‍රියම පුද්ගලයා.? රනිල් වික්‍රමසිංහද..? මෛත්‍රිපාල සිරිසේනද...? චන්ද්‍රිකා නෝනද..? නෑ මහින්ද රාජපක්ෂ. මහින්ද රාජපක්ෂ මහත්තයා මේ රටේ තිබුණු යුද්දෙ අවසන් කළා. ඒකට දායකත්වය දුන්නෙ රණවිරුවන්. මම මහින්ද රාජපක්ෂ මහත්තයාව දකින්නෙ සාමාන්‍ය පුද්ගලයෙක් ලෙස නොවේ. මහින්ද රාජපක්ෂ මහත්තයා තමයි අපේ දුටුගැමුණු කුමාරයා. අපට ඒ වගේ හොඳ නායකයෙක් ඉන්නවා.

ඇටම්පිටිය _ රත්න වීරසිංහ

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්