පැමිණිල්ලේ සාක්කිි විමසීම අවසන් ප්‍රධාන විත්තිකරු යළිත් රිමාන්ඩ්

  👤  3224 readers have read this article !
By mawbima 2017-09-21

අනුරාධපුර _ ආනන්ද කරුණාදාස

රුසියාවේ හිටපු තානාපතිවරයකු මෙන්ම උතුරු මැද පළාත් සභාවේ හිටපු විපක්ෂ නායකවරයකුද වූ මේජර් ජෙනරාල් ජානක පෙරේරා මහතා ඇතුළු 31 දෙනකු කොටි ත්‍රස්තවාදීන් විසින් අනුරාධපුරයේදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් ඝාතනය කර තවත් පුද්ගලයන් 60 දෙනකුට තුවාල සිදු කිරීමේ සිද්ධියට ආදළ නඩුවේ පැමිණිල්ලේ සාක්ෂි විමසීම අවසන් කරනු ලැබීය.

ඒ මෙම නඩුව ගම්පහ පළාත් බද මහාධිකරණ විනිසුරු හා අනුරාධපුර විශේෂ මහාධිකරණයේ විනිසුරු ඛේමා ස්වර්ණාධිපති මහත්මිය ඉදිරියේ යළි විභාගයට ගත් අවස්ථාවේදීය. මෙදින පැමිණිල්ලේ සියලු සාක්ෂි විමසීම අවසන් කළ මහාධිකරණ විනිසුරුවරිය නියෝග කළේ විත්තියේ සාක්ෂි විමසීම ලබන ඔක්තෝබර් මස 3 වැනි දින කැඳවන ලෙසයි.

මෙම අපරාධයේ ප්‍රධාන විත්තිකාර උමාර් හබිතබි නමැත්තා ලබන ඔක්තෝබර් මස 3 වැනි දින දක්වා යළි රිමාන්ඩ් කිරීමටද මහාධිකරණ විනිසුරුවරිය නියෝග කළාය.
මෙම නඩුව විශේෂ නඩු කටයුත්තක් සේ සලකා විභාග කිරීමට අගවිනිසුරුවරයා විසින් අනුරාධපුර විශේෂ මහාධිකරණයේ හිටපු මෙන්ම ගම්පහ පළාත් බද වත්මන් මහාධිකරණ විනිසුරු ඛේමා ස්වර්ණාධිපති මහත්මිය පත් කර ඇත. පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින රජයේ ජේ‍යෂ්ඨ අධිනීතිඥ සුදර්ශන ද සිල්වා මහතා සහ විත්තියේ නීතිඥ මහින්ද ජයවර්ධන යන මහත්වරුන් කළ ඉල්ලීමකට අනුව විනිසුරු ස්වර්ණාධිපති මහත්මිය මෙලෙස පත් කරනු ලැබුවාය.

මේජර් ජෙනරාල් ජානක පෙරේරා මහතා ඇතුළු 29 දෙනකු අනුරාධපුරයේදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර විශේෂ මහාධිකරණය හමුවේ අධිචෝදනා ලබා වසර පහකට අධික කාලයක් අඛණ්ඩව රිමාන්ඩ් භාරයේ පසු වන්නේ මෙම නඩුවේ ප්‍රධාන විත්තිකාර උමාර් හබිතාබි නමැත්තා. ඔහුට එරෙහිව නීතිපතිවරයා විසින් අනුරාධපුර විශේෂ මහාධිකරණය හමුවේ වෙන් වෙන්ව අධි චෝදනා 48ක් ගොනු කර ඇති අතර එම සියලු අධි චෝදනාවලට ඔහු නිවැරැදිකරු බව පැවැසීම නිසා මෙම නඩුව විභාගයට ගැනිණි.

මෙම නඩුවේ සාක්ෂිකරුවන් ලෙස 152 දෙනකු නීතිපතිවරයා විසින් නම් කරනු ලැබ සිටිති. පැමිණිල්ල වෙනුවෙන් රජයේ ජේ‍යෂ්ඨ අධි නීතිඥ සුදර්ශන ද සිල්වා, සහ රහස් පොලිසියේ නිලධාරීහු පෙනී සිටිති.

අගතියට පත් පාර්ශ්වයේ අයිතිවාසිකම් වෙනුවෙන් ජනාධිපති නීතිඥ කරුණාරත්න හේරත් මහතා සහ ජේ‍යෂ්ඨ නීතිඥ චාන්දනී හටංගල මහත්මිය පෙනී සිටින අතර විත්තිකරු වෙනුවෙන් නීතිඥ මහින්ද ජයවර්ධන මහතා පෙනී සිටියේය. මෙම නඩුවේ භාෂා පරිවර්තක ලෙස කටයුතු කරන්නේ අනුරාධපුර විශේෂ මහාධිකරණයේ භාෂා පරිවර්තක යාකුබ් ලෙබ්බේ මෙහොමඩ් ඉර්ෆාන් මහතාය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon