පළාත් සභා ඡන්ද කල්දමන්න නීති වෙනස් කරලා

  👤  3540 readers have read this article !
By mawbima 2017-09-22

ක්‍රිෂාන් පතිරත් ජයසූරිය

වත්මන් යහපාලන රජයේ කුමන්ත්‍රණකාර පාර්ශ්වයන් එකට එක්ව දින නියමයක් නොමැතිව පළාත් සභා ඡන්ද කල් දැමීම සඳහා පළාත් පාලන ඡන්ද නීතිය වෙනස් කර ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

පළාත් සභාවල නිල කාලය දිගුකිරීමට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයට අමතරව ජනමත විචාරණයක්ද අවශ්‍ය වන බවත් මේ ආකාරයට ඡන්ද නීතිය වෙනස් කිරීම නිසා අධිකරණයද හෑල්ලුවට ලක්වීමෙන් රටේ නීතිය සම්පාදන ක්‍රියාවලිය මේ ආකාරයට අවභාවිතයට ලක් වීම මීට පෙර කිසිදාක සිදුවී නැති බවද හිටපු ජනාධිපතිවරයා සඳහන් කරයි.

ඊනියා යහපාලන කල්ලිය මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී ආයතන සියල්ල විනාශ කිරීමට ගෙන යන මෙම වැඩපිළිවෙළට එරෙහිව රටේ ජනතාව සංවිධාන විය යුතු බවද මෙම විශේෂ නිවේදනයේ මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කර ඇත.

පළාත් සභා ඡන්දය දින නියමයක් නොමැතිව කල් දැමීම යන මාතෘකාව යටතේ හිටපු ජනාධිපතිවරයා නිකුත් කර ඇති මෙම විශේෂ නිවේදනයේ මෙසේ සඳහන් වේ.
ඡන්ද නොපවත්වා, පවතින පළාත් සභාවල නිල කාලය දීර්ඝ කිරීම සඳහා ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒමට මුලින් උත්සාහ දැරුවද, එවන් ව්‍යවස්ථා සංශෝධනයක් සම්මත කිරීමට නම් ජනමත විචාරණයක්ද අවශ්‍ය වන බවට ශේ‍ර්ෂ්ඨාධිකරණය දුන් තීන්දුව නිසා එම උත්සාහය ව්‍යර්ථ විය. දැන් සුපුරුදු පරිදි වත්මන් පළාත් සභා වසර පහක ධුර කාලය සම්පූර්ණ කිරීමත් සමඟ ව්‍යවස්ථාවේ 154(ඉ) වගන්තිය ප්‍රකාරව ස්වයංක්‍රියවම විසිරෙනු ඇත. ඉදිරි දින කිහිපය ඇතුළත සබරගමුව, උතුරු මැද හා නැඟෙනහිර පළාත් සභා මේ ආකාරයට අහෝසි වීමට නියමිතය. සෙසු පළාත් සභා 2018 හා 2019 අවුරුදුවල විවිධ අවස්ථාවලදී විසිරීමට නියමිතය.

පළාත් සභාවල විසිරයෑම වැළැක්විය නොහැකි වුවද, පළාත් සභා ඡන්ද නීතියට ආණ්ඩුව විසින් කඩිමුඩියේ හඳුන්වා දුන් වෙනස්කම් නිසා ඡන්ද කොට්ඨාස සීමා නිර්ණය කළ යුතුය යන කාරණය පෙන්වමින් දින නියමයක් නොමැතිව සියලු පළාත් සභාවලට ඡන්ද පැවැත්වීම ප්‍රමාද කිරීමට ආණ්ඩුවට ඉඩ ප්‍රස්ථාව ලැබී ඇත. දැනට අවුරුදු දෙකහමාරකට වඩා වැඩි කාලයක් ප්‍රමාද වී ඇති පළාත් පාලන ඡන්ද කල්දැමීමටද ආණ්ඩුව භාවිත කළේ මෙවැනිම උප්පරවැට්ටියකි. ඡන්ද පැවැත්වීම මඟහැරීම සඳහා රටේ නීති සම්පාදන ක්‍රියාවලිය ඔළුවෙන් සිටවා ඇත. පළාත් සභාවල කාන්තා නියෝජනය වැඩි කිරීමට යැයි කියමින් ගැසට් කර තිබුණු පිටු එකහමාරටත් අඩු පනත් කෙටුම්පතකට පාර්ලිමේන්තුවේ කාරක සභා අවස්ථාවේදී තව පිටු 31ක සංශෝධන ගෙන එමින් ඔවුන් පළාත් සභා ඡන්ද ක්‍රමය වෙනස් කළේය. පළමු පළාත් සභා තුන ස්වයංක්‍රියවම විසිරයෑමට දින කීපයක් තිබියදී පළාත් සභා ඡන්ද ක්‍රමය වෙනස් කිරීමෙන් පෙනී යන්නේ ඡන්ද පැවැත්වීමෙන් වැළකී සිටීමට මේ ආණ්ඩුව ඕනෑම දෙයක් කිරීමට සූදානම් බවයි. සමානුපාතික ඡන්ද පදනම මත පත්වෙන පළාත් සභා මන්ත්‍රිවරුන්ගේ ගණන 40% සිට 50% දක්වා ඉහළ දැමුවේ නැති නම් මේ සංශෝධනවලට ඡන්දය දෙන්නේ නැතැයි ඇතැම් දේශපාලන පක්ෂ කියා සිටි විට ආණ්ඩුව යමින් ගමන්ම එයද වෙනස් කළේය.

තව දින කිහිපයකින් පළමුවෙන්ම විසිරී යන පළාත් සභා තුන අතර නැඟෙනහිර පළාත් සභාවද වෙයි. එය විසිර ගිය පසු එම පළාතේ පළාත් සභාවක් හෝ පළාත් පාලන ආයතනයක් හෝ නොමැති තත්ත්වයක් උද්ගත වනු ඇත. 2008දී උතුරේ යුද්ධය උච්චතම අවස්ථාවට පැමිණ තිබියදීත් මගේ ආණ්ඩුව මුලින්ම 2008 මාර්තු මාසයේදී නැඟෙනහිර පළාතේ පළාත් පාලන ආයතන ඡන්දයත් ඉන් පසු 2008 මැයි මාසයේදී නැඟෙනහිර පළාත් සභා ඡන්දයත් පැවැත්විය. මේ එම පළාත ත්‍රස්තවාදී ග්‍රහණයෙන් මුදා ගැනීමෙන් පසු එම ප්‍රදේශයේ සාමාන්‍ය ජන ජීවිතය හා ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමට තිබුණු අවශ්‍යතාව නිසාය. මීට දශකයකට පමණ ඉහතදී නැඟෙනහිර පළාතේ පළාත් සභා හා පළාත් පාලන ආයතන නොතිබුණේ ත්‍රස්තවාදීන් නිසාය. දැන් නැඟෙනහිර පළාතේ පමණක් නොව රටේ සෙසු ප්‍රදේශවලද පළාත් පාලන ආයතන නැත්තේත් තිබෙන පළාත් සභා සියල්ල එකින් එක අහෝසි වීමට යන්නේත් යහපාලන ආණ්ඩුව නිසාය.

1988-89 කාලයේදී ජනතා විමුක්ති පෙරමුණ විසින් කරන ලද ඡන්ද තහනමෙන්වත්, දශක තුනක කොටි ත්‍රස්තවාදයෙන්වත් වත්මන් ආණ්ඩුව කර තිබෙන ආකාරයට ඡන්ද ක්‍රියාදාමය නවතා දැමීමක් සිදු නොවූ බව අප කවුරුත් මෙනෙහි කළ යුතුයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon