සිරිකඳුයාය ප්‍රාථමිකයේ දරුවෝ ගස් යට අකුරු කරති

  👤  3271 readers have read this article !
By mawbima 2017-09-22

දඹුල්ල - කේ.කේ. ආරියදාස

පොළොන්නරුව දිස්ත්‍රික්කයට අයත් ඇලහැර, බකමූණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි සිරිකඳුයාය ප්‍රාථමික විදුහලේ පන්ති කාමරය කඩා වැටීමේ අවදානම නිසා සති ගණනාවක සිට එහි සිසු දරුවන්ට පන්ති පැවැත් වෙන්නේ විදුහල් බිමේ ගස් යටය.
විද්‍යාලයේ පැවැති එකම ගොඩනැඟිල්ල කඩා වැටීමේ අවදානමක පවතින බව විදුහල්පතිවරයා සහ මවුපියෝ උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍යවරයාගේ සිට වගකිව යුතු සියලුම නිලධාරීන්ට ලිඛිතව හා වාචිකව දැනුම්දී ඇතත් මේ වන තුරු විසඳුමක් නොමැති බව මවුපියෝ පවසති.
තම දරුවන් අපහසුතා මධ්‍යයේ ගස් යට අව්වේ වේළෙමින් වැස්සේ තෙමෙමින් ඉගෙන ගැනීම සිදු කරන බවත් තවදුරටත් බලා සිටීමට නොහැකි තැන මවුපියෝ මේ බව මාධ්‍ය මඟින් රටට හෙළිදරව් කිරීමට තීරණය කළ බව කියති.

ඒ අනුව ඊයේ (21දා) විද්‍යාලයට ගිය මාධ්‍ය කණ්ඩායමට විද්‍යාලයට ඇතුළුවීමට අවසර නොලැබිණි. විදුහල්පතිවරයාට මාධ්‍ය කණ්ඩායමක් එන බව කලින්ම දැන ගැනීමට ලැබීම නිසා පාසලේ ගේට්ටුව ඉබි යතුරු දමා වසා දැමූ බව එහි ගුරුවරු පැවසූහ.

විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිවරිය බව හඳුන්වා දුන් ගුරුවරියක කියා සිටියේ තමන්ට දැනුම්දී සිටියේ මාධ්‍ය වාර්තාකරුවන් එන බවට ලැබුණු තොරතුරක් මත ගේට්ටුව වසා දමා මාධ්‍යවේදීන්ට පාසල තුළට ඇතුළුවීමට ඉඩ නොදෙන ලෙසයි. එමෙන්ම කඩිනමින් මේ විද්‍යාලයේ ගොඩනැඟිල්ල අලුත්වැඩියා කරන බවට තමන් වෙත විදුහල්පතිවරයා දැනුම් දුන් බවද නියෝජ්‍ය විදුහල්පතිවරිය ලෙස නම කියූ ගුරුවරිය අප සමඟ කියා සිටියාය.
කෙසේ වෙතත් විද්‍යාලයේ සිසු සිසුවියන් හැත්තෑ පස් දෙනකු ඉගෙන ගන්නා බවත් විද්‍යාලයේ ගුරුවරුන් අට දෙනකු සිටින බවත් එතුමිය වැඩිදුරටත් අප කළ ප්‍රශ්න කිරීම්වලදී හෙළි කළාය.

විද්‍යාලය ඇතුළට පැමිණීමට අවස්ථාව නොමැති නිසා විද්‍යාලයේ පිටත සිට දරුවන් ඉතා අපහසුතා මධ්‍යයේ අකුරු කරන ආකාරය අපට දැක බලා ගැනීමට පටිගත කර ගැනීමට හා ඡායාරුප ගැනීමට හැකිවිණ.

විද්‍යාලය මාධ්‍යවේදීන්ට පණිවුඩය ලබාදුන් මවුපියන් සියලු දෙනාම ඉදිරිපිටට පැමිණ සිටීම විශේෂත්වයක් විය. මෙහි පැමිණි මවුපියන් කියා සිටියේ සති දෙකක පමණ කාලයක සිට තම දුවා දරුවන් මේ ආකාරයෙන් ගස් යට ඉගෙන ගන්නා බවයි.

එමෙන්ම උදේ සවස දැඩි අසීරුතාවකට තම දරුවන් පත්ව සිටින බවද ඔවුහු වැඩිදුරටත් පැවැසූහ. මීට වසර දෙකකට ඉහතදී මෙම විද්‍යාලයේ ගොඩනැඟිල්ල සම්පූර්ණයෙන්ම අලුත්වැඩියා කොට සංවර්ධනය කළ බවද ඒ සඳහා විශාල මුදලක් රජය මඟින් වියදම් කළ බවද මවුපියෝ සඳහන් කරති.
මේ කොන්ත්‍රාත්තුව නිසියාකාරව සිදු නොවීම නිසා නැවතත් වසර දෙකක් යන්නට මත්තෙන් ගොඩනැඟිල්ල කඩා වැටීමේ අවදානම් තත්ත්වයට පත්ව ඇති බවද මවුපියෝ පවසති.

මේ තත්ත්වය හෙළිදරව්වීම නිසා මාධ්‍යයට සිද්ධිය වසන් කිරීමේ උත්සාහයක් පවතින බවද මවුපියෝ වැඩිදුරටත් චෝදනා කරති. කෙසේ වෙතත් මේ පිළිබඳ විදුහල්පති ආර්.එම්. රත්නසූරිය මහතාගෙන් විමසීමට උත්සාහ දැරුවෙමු. නියෝජ්‍ය විදුහල්පතිවරිය යැයි කියා ගන්නා ගුරුවරිය කියා සිටියේ තමන්ට විදුහල්පතිවරයාගේ නම හෝ දුරකතන අංකය පවා ලබාදීමට නොහැකි බවය. කෙසේ වෙතත් නැවත මාධ්‍යවේදීන් මාධ්‍ය හැඳුනුම්පත පවා පෙන්වා දුරකතන අංකය ඉල්ලා සිටි අවස්ථාවේ නියෝජ්‍ය විදුහල්පතිවරිය ලෙස හඳුන්වා ගත් ගුරුතුමිය දුරකතන අංකයක් මාධ්‍ය වෙත ලබා දුන්නාය. එය භාවිතයේ නොමැති දුරකතන අංකයක් බව පසුව දැන ගන්නට හැකිවිණි.
නැවත මාධ්‍යවේදීන් කරුණු විමසා සිටියේ මේ විද්‍යාලයේ පසුගිය කාලයේ සිදුවූ අලුත්වැඩියා කිරීම් කොන්ත්‍රාත්කරුවන් ආරක්‍ෂා කිරීමේ උත්සාහයක ගුරුවරුන් නිරත වනවාද යන්නයි. කෙසේ වෙතත් ඇය සඳහන් කර සිටියේ එවැන්නක් නොමැති බවය. තමන්ගේ සහ ගුරුවරුන්ගේ රැකියා ආරක්‍ෂා කර ගැනීමේ අවශ්‍යතාව නිසා ප්‍රකාශ නිකුත් කිරීමට හෝ මාධ්‍යවේදීන්ට ඇතුළුවීමට ඉඩ නොදෙන ලෙස තමන්ට ලැබුණු උපදෙස් පමණක් ක්‍රියාත්මක කරන බවද ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

කෙසේ වෙතත් ගුරුවරුන්, මවුපියන්, බලධාරීන් හා දේශපාලනඥයන් කුමන මත දැරුවද අවසානයේ සිරිකඳුයාය ප්‍රාථමික විදුහලේ දරුවන් හැත්තෑපස් දෙනකු සති ගණනාවක සිට අව්වට වේළෙමින් වැස්සට තෙමී එළිමහනේ අකුරු කරන ආකාරය නම් දැක ගැනීමට හැකියාව ලැබිණි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්