අවිවාහක තරුණයාට මරණ දඬුවම් හතරක්

  👤  3432 readers have read this article !
By mawbima 2017-09-22

අනුරාධපුර - ආනන්ද කරුණාදාස / මහේෂ් - විජේසූරිය

එප්පාවල සඳරැස්ගමදී එකම පවුලේ පියාට මවට, දියණියට සහ පුතාට අත් පොරවකින් කොටා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර මහාධිකරණය හමුවේ අධිචෝදනා ලබා සිටි විත්තිකාර ඥාති පුත්‍රයකු එම චෝදනාවට වරදකරු බවට නිගමනය කළ උතුරු මැද පළාත්බද මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ඔහුට ඊයේ (21දා) මරණ දඬුවම නියම කළේය.

මෙසේ මරණ දඬුවම නියම වූයේ එප්පාවල ඇදගල මිහිඳුපුර පදිංචි විතාන ගමගේ දිනුක ලක්මාල් නමැති 28 හැවිරිදි අවිවාහක තරුණයකුටය.
විත්තිකරුට මරණ දඬුවම නියම කරමින් මහාධිකරණ විනිසුරු තිලකරත්න මහතා විවෘත අධිකරණය අමතමින් පැවැසුවේ විත්තිකරු මනුෂ්‍ය ඝාතන හතරක් සිදුකර ඇති බවට ඔප්පු කළ හැකි ඇසින් දුටු සාක්ෂි කිසිවක් නොමැති බවයි. එහෙත් විත්තිකරු මෙම අපරාධය සිදු කළ බවට පරිවේෂණීය සාක්ෂි මඟින් සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු වී ඇති බවද,

මනුෂ්‍ය ඝාතන හතරක් සිදු කළ බවට විත්තිකරුට එරෙහිව නීතිපතිවරයා නඟා ඇති අධි චෝදනා සියල්ලට විත්තිකරු වරදකරු බවට තමා නිගමනය කරන බවද විනිසුරුවරයා කීවේය.


අධි චෝදනා හතරට වෙන් වෙන්ව විත්තිකරුට මරණ දඬුවම් හතරක් නියම කෙරිණි. 2010 වසරේ ජූලි මස 11 වැනි දින හෝ ඊට ආසන්න දිනයක අනුරාධපුර මහාධිකරණ බල ප්‍රදේශයට අයත් එප්පාවල සඳරැස්ගමදී කේ. ඒ. මාලනී ජයසිංහ (මව), කේ. ඒ. අචිනි උදේශිකා දයාරත්න (දියණිය), කේ. ඒ. ක්‍රිෂාන් දිල්හාර දයරත්න (පුතා) සහ කේ. ඒ. දයාරත්න (පියා) යන සිවු දෙනාට අත් පොරවකින් කොටා ඝාතනය කළ බවට විත්තිකරුට එරෙහිව ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 296 වැනි වගන්තිය ප්‍රකාරව නීතිපතිවරයා විසින් අනුරාධපුර මහාධිකරණය හමුවේ අධි චෝදනා හතරක් යටතේ වෙන් වෙන්ව නඩු හතරක් පවරා තිබිණි.

විත්තිකරු විසින් මෙලෙස සාහසික ලෙස ඝාතනය කර ඇත්තේ ඔහුගේ ලොකු තාත්තා, ලොකු අම්මා, ඥාති සහෝදරියක සහ ඥාති සහෝදරයකු බව නඩු විභාගයේදී කියැවිණි.

අනුරාධපුර ශික්ෂණ රෝහලේ එවකට විශේෂඥ අධිකරණ වෛද්‍යවරයාව සිටි හා මාතලේ මහ රෝහලේ වත්මන් විශේෂඥ අධිකරණ වෛද්‍ය ධනංජය වෛද්‍යරත්න සහ බොරැල්ල ජින්ටෙක් ආයතනයේ විද්‍යාඥ රුවන් ජේ. ඉලේපෙරුම යන මහත්වරුන් ඇතුළු විසි අට දෙනකු මෙම නඩුවේ සාක්ෂිකරුවන් ලෙස නම් කර තිබිණි. නඩුවට අදාළව නම්කර තිබූ නඩු භාණ්ඩ සංඛ්‍යාව 18කි. අත් බෝම්බයක්, අත් පොරවක් සහ පිහියක්ද එම නඩු භාණ්ඩවලට ඇතුළත්ව තිබිණි.

පැමිණිල්ල වෙනුවෙන් රජයේ අධිනීතිඥ රජින්ද ජයරත්න මහතා පෙනී සිටි අතර විත්තිකරු වෙනුවෙන් රජයෙන් පත් කළ නීතිඥ කාලිංග රවින්ද්‍ර ජයරත්න මහතා පෙනී සිටියේය. මෙම නඩුවේ ලඝු නොවන නඩු විභාගය තඹුත්තේගම මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවැති අතර 2013 වසරේ පෙබරවාරි මස 22 වැනි දින මෙම අපරාධයට අදාළව අධිචෝදනා විත්තිකරුට භාර දීමෙන් පසු එහි වැඩිදුර විභාගය අනුරාධපුර මහාධිකරණයට යොමු කෙරිණි. එප්පාවල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් මූලික විමර්ශන මෙහෙයවා තිබිණි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon