උතුර එක්ක එකතු වෙන්න නැඟෙනහිර මිනිස්සු කැමැති නැහැ

  👤  3327 readers have read this article !
By mawbima 2017-09-22

උතුරු නැඟෙනහිර පළාත් ඒකාබද්ධ කිරීමට මුස්ලිම් ජනතාව කිස්සේත් එකඟ නොවන බව පුනරුත්ථාපන හා නැවත පදිංචි කිරීම පිළිබඳ රාජ්‍ය අමාත්‍ය එම්.එස්.ඒ.එම්. හිස්බුල්ලා මහතා පවසයි.

ඒ පිළිබඳව මුස්ලිම් ජනතාව ඉතා පැහැදිලි ස්ථාවරයක සිටින බවද හෙතෙම සඳහන් කරයි.
මඩකළපුව එරාවුර් බදියුදීන් මහමුද් විද්‍යාලයේ පසුගියදා පැවැති උත්සවයක් අමතමින් අමාත්‍යවරයා මේ බව පැවැසුවේය.
මෙහිදී රාජ්‍ය අමාත්‍යවරයා මෙසේද කීය.

නැඟෙනහිර පළාත එක් ජන කොටසකට පමණක් අයත් වූවක් නෙවෙයි. ඒ වගේම උතුරත් එක් ජන කොටසකට පමණක් අයත් වූවක් නොවන බව මුස්ලිම් ජනතාව ඉතා පැහැදිලිව තේරුම් ගත යුතු කරුණක්.
නැඟෙනහිර පළාතේ ප්‍රධාන අමාත්‍යවරයාත් ඔහුගේ නායකයාත් මේ පළාතේ මුස්ලිම් ජනතාව පාවාදෙමින් උතුරු නැඟෙනහිර පළාත් ඒකාබද්ධ කිරීමට උත්සාහ කරන්නේ එම ජනතාව අගාධයට දමමිනුයි.

මඩකළපුව දිස්ත්‍රික්කයේ මැතිවරණ කොට්ඨාස ගණන 14ක් දක්වා වැඩි වෙනවා. ඒ අනුව තවත් නියෝජිතයන් තුන් දෙනකු පමණයි වැඩි වෙන්නේ. නැඟෙනහිර පළාතේ ජනතාව තම නියෝජිතයන් තෝරා පත් කර ගත යුත්තේ පළාතේ ජීවත් වන සියලු ජන කොටස් හා සහයෝගයෙන්. සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් නැඟෙනහිර පළාතේ ප්‍රධාන අමාත්‍යවරයා ලෙස කටයුතු කළා. මේ වන විට එම ධුරය හොබවනු ලබන්නේ නසීර් අහමඩ් මහතා. විමලවීර දිසානායක මහතා එම ධුරයට පත් වෙන්න පුළුවන්. මේ විදියට සියලු ජන කොටස්වල නියෝජිතයන්ට මහ ඇමැති ධුරයට පත් වන්න පුළුවන් එකම පළාත නැඟෙනහිර පළාත විතරයි.

මේ නිසා උතුරු නැඟෙනහිර ඒකාබද්ධ කර රට නැවතත් ලේ විලක් කිරීමට අපි කවදාකවත් ඉඩ තබන්නේ නැහැ. කෙසේ වෙතත් දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයන් ජාතික ගැටලුවට විසඳුම් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඉදිරිපත් කර තිබෙනවා. ඊට අදාළ අතුරු වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
යුද්ධය අවසන් වුවත් ජාතික ගැටලුවට තවමත් විසඳුමක් ලැබී නැහැ. මෙම ගැටලුවට වත්මන් ආණ්ඩුවෙන් විසඳුමක් නොලැබුණොත් රට ඉතා ගැටලු සහගත තත්ත්වයකට ලක් වෙන්නට පුළුවන්.

පළාත් සභාවලට බලතල ලැබිය යුතු අතර එම පළාත් සභා පාලනය කිරීමේ බලය තමන්ටම හිමි විය යුතුයි. උතුරු නැඟෙනහිර පළාත් වෙන් වෙන්ව පරිපාලනය වියයුතුයි. එසේ වුවහොත් පමණයි අපගේ ගැටලුවලට විසඳුම් ලැබෙන්නේ. උතුරු නැඟෙනහිර පළාත් ඒකාබද්ධ කිරීම පිළිබඳව තවදුරටත් කවරකු හෝ කතා කරයි නම් එය නිෂ්ඵල ක්‍රියාවක් ලෙසයි මම දකින්නේ.

උතුරු නැඟෙනහිර පළාත් ඒකාබද්ධ කිරීමට මුස්ලිම් ජනතාව කිසිසේත් එකඟ නොවන බව රවුෆ් හකීම් මහතා පැහැදිලිවම ප්‍රකාශ කළ යුතුව තිබෙනවා. නැත්නම් එය ඉදිරියට ගැටලුවක් විය හැකියි.

ලක්ෂ්මී ජයකොඩි

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon