වෙන කේස් එකකට ලලිත් ආයෙත් ඇතුළට

  👤  3223 readers have read this article !
By mawbima 2017-09-26

චාමර අමරසූරිය, ඕපනායක - නිමල් බඳගිරිය

ඉකුත් ජනාධිපතිවරණ සමයේදී කහවත්ත පොලිස් වසමේදී පුද්ගලයකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව හිටපු ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතා පොලිස් විශේෂ විමර්ශන ඒකකය මඟින් ඊයේ (25දා) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම ඝාතන සිද්ධියට සම්බන්ධ වරදකරුවකුට නීත්‍යනුකූල දඬුවමකින් ආවරණය කිරීම සඳහා ක්‍රියා කිරීමේ වරද මත ලලිත් ජයසිංහ මහතා මෙලෙස අත්අඩංගුවට ගනු ලැබූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කරයි.

2015 ජනවාරි 5 වැනි දින කහවත්ත ප්‍රදේශයේදී හිටපු නියෝජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර මහතා ඇතුළු පිරිසක් විසින් පුද්ගලයකුට වෙඩි තබා ඝාතනය කළා යැයි පැවසෙන සිද්ධියට අදාළව එම විමර්ශනයේදී ඇතැම් කරුණු වසන් කිරීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ලලිත් ජයසිංහ මහතාව පොලිස් විශේෂ විමර්ශන ඒකකයට ඊයේ (25දා) කැඳවා තිබිණි.

ප්‍රකාශයක් සටහන් කර ගැනීමෙන් අනතුරුව ලලිත් ජයසිංහ මහතාව අත්අඩංගුවට ගනු ලැබීය.
මෙම සැකකරු පැල්මඬුල්ල මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීම සඳහා විශේෂ ආරක්ෂාවක් යටතේ කොළඹ සිට රැගෙන යෑමට ඊයේ පියවර ගත් බවද උසස් පොලිස් නිලධාරියකු 'මව්බිම'ට පැවැසීය.

යාපනය ශිවයෝගනාදන් විද්‍යා දැරිය ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුට යාපනයෙන් පලා යෑමට සහාය ලබා දීමේ චෝදනා මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් මීට පෙරද හිටපු ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතා අත්අඩංගුවට ගනු ලැබීය.
ඊට අදාළව රක්ෂිත බන්ධනාගාරගතව ඇප මත සිටියදී දෙවැනි වර ඔහු මෙලෙස නැවත අත්අඩංගුවට ගැනිණි.
අත්අඩංගුවට ගත් හිටපු ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතා පැල්මඬුල්ල මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැර තිබේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්