මංගලගේ මංගල අය-වැයෙන් වැඩිම වියදම ආරක්ෂාවට

  👤  3183 readers have read this article !
By mawbima 2017-09-26

දයා පෙරේරා, ජේ.ටී. ද සිල්වා

මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීරගේ මංගල අය වැයේ වියදම් ඇස්තමේන්තුවලට අනුව 2018 වසරේ රජයේ සේවා වියදම රුපියල් දහනමදහස් හත්සිය හැත්තෑ දෙකෝටි හැට හතර ලක්ෂ හැට තුන් දහස (19,772,64,63,000)කි.
මෙම සේවා වියදම් ඇස්තමේන්තු ඇතුළත් විසර්ජන පනත් කෙටුම්පත ලබන ඔක්තෝබර් 9 වැනිදා පස්වරුවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ.
මෙවර විසර්ජන පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීම සඳහා එදින පාර්ලිමේන්තුව රැස්වන දිනයක් වශයෙන් ප්‍රකාශයට පත් කර තිබීමද විශේෂත්වයකි.
විසර්ජන පනත් කෙටුම්පතට අනුව 2018 වසරේ වැඩිම මුදලක් වෙන්කර ඇත්තේ ආරක්ෂක අමාත්‍යාංශයටය. පුනරාවර්තන හා මූල්‍යම වශයෙන් එම මුදල රුපියල් කෝටි 29,071කි.

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සඳහා රුපියල් කෝටි 22,757 කෝටියක මුදලක්ද රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යාංශයට රුපියල් කෝටි 18,562ක මුදලක්ද වෙන්කර ඇත.

ජනාධිපතිවරයා සඳහා 1 මෙහෙයුම් වැඩසටහන සහ 2 සංවර්ධන වැඩසටහන සඳහා පුනරාවර්තන හා මූල්‍යම වියදම් ඇස්තමේන්තු රුපියල් කෝටි 9,982ක්ද අගමැති කාර්යාලයේ 1 මෙහෙයුම් වැඩසටහන වෙනුවෙන් රුපියල් කෝටි 174ක්ද ඇස්තමේන්තු කර තිබේ.
උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යාංශයට රුපියල් කෝටි 18,275ක්ද අධ්‍යාපන අමාත්‍යාංශයට රුපියල් කෝටි 10,288ක්ද වෙන් කර ඇති අතර සමාජ සවිබල ගැන්වීමේ සුබසාධන හා කන්ද උඩරට උරුමය අමාත්‍යාංශයට රුපියල් කෝටි 1,857ක්ද වෙන් කර ඇත.
සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයට රුපියල් කෝටි 17,840ක්ද අධ්‍යාපන අමාත්‍යාංශයට රුපියල් කෝටි 10,288ක්ද වෙන්කර තිබේ.
ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයට රුපියල් කෝටි 2,573ක්ද ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශයට රුපියල් කෝටි 776ක්ද කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහා රුපියල් කෝටි 2,379ක්ද වෙන්කර ඇත.

මැතිවරණ කොමිසම වෙනුවෙන් රුපියල් කෝටි 631ක්ද වෙන්කර ඇත.
මෙම ඇස්තමේන්තු ඇතුළත් කර 2018 වසර වෙනුවෙන් නව අය වැය මුදල් හා ජනමාධ්‍ය ඇමැතිවරයා නොවැම්බර් 9 වැනිදා පස්වරුවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි. නොවැම්බර් 10 වැනිදා අය වැය විවාදය ආරම්භ වී 15 වැනිදා සෙනසුරාදා ඡන්ද විමසීමකටද නියමිතය.
අය-වැය තුන් වැනි වරට කියැවීම හෙවත් කාරක සභා අය-වැයේ විවාදය නොවැම්බර් 16 වැනිදා සිට දෙසැම්බර් 9 වැනිදා දක්වා දින 19ක් තුළ පැවැත්වීමටද නියම කර ගෙන තිබේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්