පළාත් සභා ඡන්දයේ සීමා නිර්ණය කොමිසම හරහා සිදු කළ යුතුයි

  👤  3212 readers have read this article !
By mawbima 2017-09-26

ආරියරත්න ගනේගොඩ

පළාත් සභා මැතිවරණයට අදාළ සීමා නිර්ණ කටයුතු ජාතික සීමා නිර්ණ කොමිසම හරහා සිදු කරන ලෙසත් එසේ නොමැතිව කොමිසමක් පත්කර අදාළ කටයුතු කළහොත් මැතිවරණය කල්යෑම වළක්වාගත නොහැකි වන බවත් මැතිවරණ නිරීක්ෂණ සංවිධාන සඳහන් කරයි.
අදාළ ඉල්ලීම් මේ සතියේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ විෂය භාර අමාත්‍ය ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා යන මහත්වරුන් වෙත ඉදිරිපත් කරන බවද එම සංවිධාන නියෝජිතයෝ සඳහන් කරති.
සංශෝධිත පනතට අනුව කොමිසමට නියෝජිතයන් 5 දෙනකු ඇතුළත් විය යුතු බවට සඳහන් කර තිබෙන බවත් දැනට ව්‍යවස්ථාදායක මණ්ඩලය පත් කළ කොමිසමේ නියෝජිතයන් තිදෙනකු සිටින බවත් පැෆරල් සංවිධානය සඳහන් කරයි.

මේ නිසා එම කොමිසමට නියෝජිතයන් දෙදෙනකු අලුතෙන් පත්කර අදාළ කටයුත්ත කඩිනම් කරන ලෙසත් එසේ නොමැති වුවහොත් පළාත් පාලන සීමා නිර්ණයට වසර 2 1/2ක් ගතවූ ආකාරයටම මේ කටයුත්තද වසර ගණනක් යනතුරු සිදුකිරීමට නොහැකි වන බවත් එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කෙළේය.

සීමා නිර්ණය අවසන් වන දිනයක් ස්ථීර ලෙස දැනගැනීමට නම් අදාළ කටයුත්ත ජාතික සීමා නිර්ණ කොමිසමට භාරදිය යුතු බවත් එසේ නොමැතිව දේශපාලන නියෝජිතයන් ඇතුළත් කර කොමිසමක් පත් කළහොත් මැතිවරණය දින නියමයක් නොමැතිව කල් දමා ගැනීමට දේශපාලනඥයන්ට හැකියාව ලැබෙන බවත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය සඳහන් කරයි. එම තත්ත්වය උදා වුවහොත් පළාත් පාලන මැතිවරණයට සිදුව තිබෙන ලෙසම පළාත් සභා මැතිවරණයට සිදුවීම අනිවාර්ය බවද එම සංගමයේ ජාතික සංවිධායක මංජුල ගජනායක මහතා සඳහන් කෙළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon