සින්නක්කර ඔප්පු ලක්ෂ 20ක් ළඟදීම ජනතාවට ලබා දෙනවා

  👤  3102 readers have read this article !
By mawbima 2017-09-26

දෙනගම ධම්මික රණවීර

සින්නක්කර ඔප්පු ලක්ෂ 20ක් මහජනතාව සඳහා බෙදාදීමට වත්මන් ආණ්ඩුව ඉදිරි කාලයේදී කටයුතු කරනවා යැයි ඉඩම් සහ පාර්ලිමේන්තු කටයුතු ඇමැති ගයන්ත කරුණාතිලක මහතා පැවැසීය.
ඇමැතිවරයා එම අදහස් පළ කළේ ශ්‍රී ලංකා මිනින්දෝරු ආයතනයේ 91 වැනි සංවත්සරයට ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වෙමින්ය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ගයන්ත කරුණාතිලක මහතා මෙසේද කීවේය.
මිනින්දෝරු දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකාවේ ඉතාමත් පැරැණි දෙපාර්තමේන්තුවක්. ඊට කීර්තිමත් ඉතිහාසයක් තියෙනවා. අපේ රටේ පළමු වැනි අගමැති වුණෙත් පළමුවැනි ඉඩම් ඇමැතිවරයා වූ මහාමාන්‍ය ඩී.එස්. සේනානායක මහතා බව මම අසා තිබෙනවා. එතුමා දේශපාලනයට එන්නට පෙර මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ සේවය කොට තිබෙනවා.

මිනින්දෝරු වෘත්තිය රටටත්, ජනතාවටත් අත්‍යවශ්‍ය වෘත්තියක් බව අප කිසි විටෙකත් අමතක කරන්නේ නැහැ.
මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ඵලදායිතාව හෙටට ගැළපෙන අයුරින් ගොඩනැඟීම මගේ අරමුණක්. ඒ සඳහා භෞතික සම්පත් වගේම මානව සම්පතත් දියුණු කළ යුතුයි. ඒ සඳහා රජය කැපවී ක්‍රියා කරනවා.

වත්මන් ආණ්ඩුව බලයට පත්වන විට ජනතාවට සින්නක්කර ඔප්පු ලබාදෙන බවට පොරොන්දු වුණා. ඉඩම් ඇමැති ලෙස මම ඒ අභියෝගය භාරගෙන තිබෙනවා. ඉඩම් ඔප්පු ලබාදෙන කොන්දේසි ලිහිල් කරපු වැඩසටහනේ මූලික කෙටුම්පතක් සකසා නීතිපතිට මේ වනවිටත් යොමුකොට තිබෙනවා. ඉදිරි කාලයේදී එම කෙටුම්පත් කැබිනට් මණ්ඩලයේදී අනුමත වීමෙන් පසුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා යැයිද ඔහු වැඩිදුරටත් පැවැසීය.
රජයේ මිනුම්පති පී.එම්.පී. උදයකාන්ත මහතාද මෙහිදී කතා කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්