මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම් සුළු ජන කොටස් ගැන නොසිතීම කනගාටුවට කරුණක්

  👤  3090 readers have read this article !
By mawbima 2017-09-26

ලක්ෂ්මී ජයකොඩි

කාන්තා නියෝජනය, තරුණ නියෝජනය, මැතිවරණ ක්‍රමය වෙනස්වීම, ඡන්දය ප්‍රමාදවීම පිළිබඳ කතා බහ කරන මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම් සුළු ජන කොටස් පිළිබඳව නොසිතීම කනගාටුවට කරුණක් බව ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පවසයි.
මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද කීය.

කාන්තා නියෝජනය, තරුණ නියෝජනය, මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම ගැන, ඡන්දය ප්‍රමාද කිරීම පිළිබඳව සෑම විටම සාකච්ඡාවට ලක් කරන මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම් සිටිනවා. එම කණ්ඩායම්වල සිටින රෝහණ හෙට්ටිආරච්චි, කීර්ති තෙන්නකෝන් මහත්වරු මේ සියලු කරුණුවලට වඩා සිතිය යුත්තේ සුළු ජන කොටස්වල නියෝජනය ගැනයි. මේ රටේ යුද්ධයක් තිබුණා. මේ නිසා අපි විශාල වශයෙන් පීඩාවට පත් වුණා. අපේ ආර්ථිකය දියුණු වී ඇත්තේ ඉතා අඩුවෙන්.
දැනුයි අපි සහජීවනය සංහිඳියාව ඇති කරගනිමින් යන්නේ. මේ රටේ පවතින සියලු ප්‍රශ්නවලින් සියයට පනහකටම බලපා ඇති මූලික ගැටලුව වී තිබෙන්නේ ජනවාර්ගික ප්‍රශ්නයයි. ඒ ගැටලුව නිසාම දරුණු යුද්ධයකට මුහුණදීමට සිදුවුණා. නැවතත් එවැනි යුද්ධයක් ඇති නොවීමට වග බලා ගැනීම අපගේ වගකීමයි.
එසේ නම් කළ යුතුව ඇත්තේ පළාත් පාලන ආයතනවල පළාත් සභාවල සුළු ජනකොටස්වලට සාධාරණ නියෝජනයක් සඳහා අවස්ථාව ලබාදීමයි. එය වරදක් ලෙස මා දකින්නේ නැහැ. එහෙම වුණොත් විතරයි රට හදන්න පුළුවන්.

මේ රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකක් තිබෙනවා. අනෙක් සියලු පක්ෂ සුළු පක්ෂ ගණයටයි අයත් වෙන්නේ. මේ පක්ෂ නියෝජනයක් ලැබෙන්නේ ඔවුන්ට සාධාරණ නියෝජන අවස්ථාවක් ලැබුණොත් විතරයි. අනෙක් සීමා නිර්ණය කිරීම් නිසියාකාරව සිදු වෙන්න ඕන.

පළාත් සභා ඡන්දයට අපේ හදිසියක් නැහැ. සීමා නිර්ණය කිරීම සඳහා සාධාරණ කාලයක් ගත වෙනවා. ඒ වගේම නව මැතිවරණ ක්‍රමය යටතේ පළමු වරට ජනවාරි මාසයේ මැතිවරණයක් පැවැත්වීමට නියමිතයි. 2003 දිනේෂ් ගුණවර්ධන මහතාගේ සභාපතිත්වයෙන් ආරම්භ වූ මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමේ සිහිනය අද සැබෑවෙලා. ඒකට ආණ්ඩුවට ප්‍රශංසා කරන්න ඕන. මේ මැතිවරණයෙන් පස්සේ තමයි මේ ක්‍රමයේ දුර්වලතා හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. පළාත් පාලන මැතිවරණය මිශ්‍ර ක්‍රමයට පවත්වලා පළාත් සභා මැතිවරණය පරණ ක්‍රමයට පවත්වන්නේ කොහොමද? ජනතාව හිනා වෙයි.

පළාත් පාලන මැතිවරණය සඳහා සීමා නිර්ණය කිරීම් කළා. ඒ නිසා එම කොට්ඨාස එකතුකොට පළාත් සභා සඳහා සීමා නිර්ණය කිරීම ඉතා පහසුයි. මේ සීමා නිර්ණයට ඒ තරම් කාලයක් අවශ්‍ය නැහැ. මැතිවරණ හැකි ඉක්මනින් පැවැත්වීම අත්‍යවශ්‍යයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්