ආණ්ඩුවට අවශ්‍ය ඡන්ද මඟ හැර යෑමටයි

  👤  3191 readers have read this article !
By mawbima 2017-09-26

විටින් විට පැවැත්වෙන පළාත් සභා, පළාත් පාලන ඡන්දවලින් මඟහැරී සිටීමට තම නීත්‍යනුකූලභාවය තහවුරු කරගැනීමට සහ පාර්ලිමේන්තු ඡන්දය තවත් කාලයකට දීර්ඝ කර ගැනීමට නම් ආණ්ඩුව අනිවාර්යයෙන්ම ජනමත විචාරණයකට යා යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රි වාසුදේව නානායක්කාර මහතා ප්‍රකාශ කරයි.
බොරැල්ල එන්.එම්. පෙරේරා කේන්ද්‍රයේදී ඊයේ (25දා) පැවැති සමාජවාදී ජනතා පෙරමුණේ මාධ්‍ය හමුවට එක්වූ මන්ත්‍රිවරයා ආණ්ඩුවට රැවුලත් ඕනේ කැඳත් ඕනේ යැයිද සඳහන් කළේය.

එහිදී මන්ත්‍රිවරයා මෙසේද පැවැසීය.
උද්ධමනය 9%ට නැඟලා. මේ රටේ සෑම මාධ්‍යකම ප්‍රමුඛ පුවත විය යුත්තේ එයයි. නමුත් ඒ තරම් ප්‍රසිද්ධියක් ලැබුණේ නැහැ. මේ ආණ්ඩුව බලයට එනකොට උද්ධමනය තිබුණේ 4%. මිල නැඟීමේ වේගයයි උද්ධමනය කියන්නේ. විවිධ විච්චූර්ණ වාක්‍ය නොතිබුණත් හාල්, පොල්වල මිල ගණන් අපිට හොඳට දැනෙනවා. මේ ආණ්ඩුව මැදිහත්වීමෙන් තොරව වෙළෙඳපොළට ඉබේ ක්‍රියා කරන්න අවස්ථාව දීලා තියෙනවා. ඒ නිසා අද වෙළෙඳපොළේ මිල ගණන් තීන්දු වෙන්නේ වෙළෙඳපොළේම නියාමනයන් අනුව. ආණ්ඩුව මැදිහත් වෙනවා කියන්නේ ජනතාවට ඔරොත්තු දෙන මිල ගණන්වලට අත්‍යවශ්‍ය භාණ්ඩ සැපයීමට මැදිහත්වීම. එයට අනිවාර්යයෙන්ම ආණ්ඩුව මුදලක් වෙන්කළ යුතුයි. වෙළෙඳපොළේ වෙළෙන්දන්ගේ ලාභ ගැනීම ප්‍රමාණය අනුව ඉටු වන්නේ නැත්නම් ආණ්ඩුව ඒ ද්‍රව්‍ය බෙදා හැරීමේ වගකීමක් යම් දුරකට අතට ගත යුතුයි. එවිට අත්‍යවශ්‍ය භාණ්ඩ සාධාරණ මිලකට ලබා දිය හැකියි.
ලොකු ලූනු ගොවීන්ගේ විලාපය දිගටම ඇහෙනවා. පිටරටින් ගේන ලූනුවලට බද්දක් දානවා කියනවා. නමුත් මෙහෙම තියෙද්දී පිටරටින් ගේන ලූනු පහසුවෙන් විකුණන්න පුළුවන් දේශීය ලූනුවලට වඩා. දේශීය ගොවියට රුපියල් 35ත් 50ත් අතර මිලටවත් විකුණ ගන්න බැරි තත්ත්වයක් අද තියෙන්නේ. එදා කිලෝවක මිල රුපියල් 100 දක්වා තිබුණා.

රජය මැදිහත් වෙලා සහතික මිලකට ලූනු අරගෙන අඩු ලාභයක් හෝ ලාභ නැතිව වෙළෙඳපොළට යවනවා නම් ගොවීන්ට සහතික මිලකුත්, වෙළෙඳපොළට සාධාරණ මිලකුත් ලැබෙනවා. මේ ආණ්ඩුව පිළිගන්නේ වෙළෙඳපොළවාදී ප්‍රතිපත්තියක්.

වෙළෙඳපොළවාදී ප්‍රතිපත්ති තුළ ව්‍යාපාරිකයන් තමන්ගේ බලය වෙළෙඳපොළ තුළ හසුරුවනවා. ඒ අනුව නිෂ්පාදකයන් ව්‍යාපාරිකයන්ගේ බලයට ගොදුරු වෙනවා. ආණ්ඩුව වෙළෙඳපොළ දිහා බලාගෙන සම්පූර්ණයෙන් නිසොල්මන් වී ඉන්නවා. එයයි උද්ගතවී තියෙන උද්ධමනයට, ජීවන බරට සුළු නිෂ්පාදකයාගෙ විනාශයට හේතුව. මේ සියල්ල පවතින්නේ ආණ්ඩුව ගන්නා වෙළෙඳපොළ ප්‍රතිපත්තිය නිසයි. මිලදී ගැනීමේදී විකිණීමේදීත් වෙළෙඳපොළ නිසි මැදිහත් වීමක් තිබිය යුතුයි.
ඊළඟට නොවැම්බර් වෙනකොට නාමයෝජනා කැඳවන බව ප්‍රකාශ වී තිබෙනවා. නමුත් ඡන්දය පැවැත්වීම ගැන විශාල අඩමානයක් තිබෙනවා. ආණ්ඩුව බලන්නේ ව්‍යවස්ථාව ජනමත විචාරණයක් පවත්වන්නයි. එය ඉදිරියට දාලා සියලුම ඡන්ද පස්සට දැමීම රජයේ උපක්‍රමයයි. පසුගිය වසර දෙකහමාරයක කාලය ගත වුණේ පළාත් පාලන ඡන්දය නැතිව. පළාත් සභා ඡන්දය මේ මාසය අග වන විට ආරම්භ වීමට නියමිතව තිබුණත් එය කල් දැමීමට ආණ්ඩුවට පුළුවන් වී තිබෙනවා. පළාත් සභා ඡන්දය ලබන වසරේ මාර්තු වෙනකොට පවත්වන බව කිව්වත් ප්‍රායෝගික හේතු මත හැම ඡන්දයක්ම කල් යන බව කිව යුතුයි.

අපේ දේශපාලන දැක්ම අනුව පේන්නේ ආණ්ඩුව ජනමත විචාරණයකට ගොස් පසුව දිනුමක් ලබා ගන්නවා නැත්නම් ආණ්ඩුව තමන්ගේ අන්තිම ගේමත් ගහලා ඉවර කරනවා. මේ තත්ත්වය තුළ ආණ්ඩුවට ඡන්ද මඟ හැරගෙන යෑම අවශ්‍ය වී තිබෙනවා. හැබැයි ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් විශාල උත්සවයක් පාර්ලිමේන්තුවේ පවත්වන්නත් නියමිතයි. මේ රටේ ජනතාව ඒකරාශි කරමින් ඡන්දය තියන තැනට බල කළ යුතුයි. එසේ නොවන්නේ නම් ආණ්ඩුව අකර්මණ්‍ය කරන ඒකාබද්ධ ජනතා මෙහෙයුමකට සූදානම් කිරීම ඒකාබද්ධ විපක්ෂයේත් මේ රටේත් පොදු ජනතාව නියෝජනය කරන බලවේගයන්ගේත් වගකීමයි.
පහන් විජේසේකර

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon