මේ සිදුවීමෙන් මහ ඇමැතිවරයා නිදහස්

  👤  3191 readers have read this article !
By mawbima 2017-09-26

මහනුවර - ගයා ශ්‍රී කාරියවසම්

ගිනස් වාර්තාවක් තැබීමට මංගල සාරියක් අල්ලාගෙන සිටීම සඳහා පාසල් වේලාව තුළ පාසල් දරුවන් සහභාගි කරවීමේ සිද්ධියෙන් මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යවරයා වන ප්‍රධාන අමාත්‍යවරයා නිදහස් කරන බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිලුකා ඒකනායක මහත්මිය ප්‍රකාශ කළාය.
මේ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ඊයේ (25දා) ආණ්ඩුකාර කාර්යාලයේදී පැවැත්විණි. ඒ සඳහා මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයාත්, එම විදුහලේ විදුහල්පතිවරයාත්, කටුගස්තොට කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයාත්, අධ්‍යාපන අමාත්‍යාංශයේ සහකාර ලේකම්වරියක් සහභාගි වී සිටියහ.
මෙම පරීක්ෂණයෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරිය මෙසේද කීවාය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් කැඳවා පරීක්ෂණයක් කළා. මනාලියන් අන්දවන මඟුල් ගෙයකට ප්‍රධාන ඇමැතිවරයාට යන්න පුළුවන්. නමුත් දරුවන් වෙහෙසට පත්වීම සම්බන්ධයෙන් සොයන්න වෙනවා. දරුවන් පිළිබඳව මීට වඩා වගකීමෙන් යුතුව කටයුතු කරන්න වෙනවා.
මේ පිළිබඳව අධ්‍යාපන ලේකම්වරයාගෙන් ප්‍රශ්න කරන්න වෙනවා. මේ සඳහා අධ්‍යාපන ලේකම් ඔහුගේ වගකීම කෙසේ ඉටුකර ඇතිදැයි මට පැහැදිලි නැහැ. මම මේ සිදුවීමෙන් මහ ඇමැතිවරයා නිදහස් කරනවා. මහ ඇමැතිවරයාගේ ලිපියක් නිසා එතුමා මෙම සිදුවීමෙන් නිදහස් කළ හැකියි. නමුත් දරුවන්ගේ වෙහෙස ගැන මහ ඇමැතිවරයා නොසිතීම පිළිබඳව මට ප්‍රශ්නයක් තිබෙනවා.

මවුපියන් ලෙස දරුවන්ගේ යුතුකම් ඉෂ්ට කිරීම පිළිබඳව මම සතුටු වෙන්නේ නැහැ. මටත් වගකීමක් තිබෙනවා මේ ගැන සොයා බලන්න. මේ පිළිබඳව අධ්‍යාපන ලේකම්වරයා අවසර දී තිබෙන බව දැනගන්න තිබෙනවා. අද එතුමා මේ සාකච්ඡාවට පැමිණ නැහැ. මම ඒ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ කරනවා. මේ සිදුවීමට දරුවන් පාවිච්චි කිරීම මම සම්පූර්ණයෙන්ම හෙළා දකිනවා. මෙවන් අවස්ථාවකට දරුවන් සම්බන්ධ කර ගැනීම ඉතා කනගාටුදායකයි. දරුවන් ගැන සැලකිලිමත් වන ලෙස ජනාධිපතිවරයා පුන පුනා කියද්දීත් මෙවන් දෙයක් සිදුකිරීම පිළිබඳව වගකීම අධ්‍යාපන ලේකම්වරයා දරන්න වෙනවා. නමුත් ඒ අවස්ථාවේදීද මට කවුරුන් හෝ මේ බව දැනුම් දුන්නා නම් මම ඒ අවස්ථාවේදීම ඒ සඳහා පියවර ගන්නවා. කවරකු වරද කළත් ඒ වගකීම ඒ වරද කළ අය දැරිය යුතුයි. මේ ආකාරයට දරුවන් සිටුවන්න කියා මහ ඇමැතිවරයා පවසා නැහැ. නමුත් මේ පිළිබඳව වගකීමෙන් සොයා බලන බවද ආණ්ඩුකාරවරිය සඳහන් කළාය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon