සන්තාන ගත වෙනස සංස්ථාගත කිරීමේ අභියෝගය හා 'රටට වුවමනා වම'

  👤  116 readers have read this article !
By mawbima 2017-09-26

විමල් වීරවංශ සිරගතව සිටියදී ලියූ කෘතිය 'රටට වුවමනා වම' නම් වෙයි. එය රටට වුවමනා වමට වඩා රටට වුවමනා සමාජ ව්‍යාපාරය කෙබන්දක්ද යන තේමාව වටා ගොනුවූයේ නම් වඩා හොඳ යැයි විටෙක සිතෙයි. එසේ වුවද විමල් වැනි වාම මුල් සහිත නායකයකු එතැනින් සපුරා නොබිඳී මේ කතිකාවට දායක වීමද වැදගත්ය. ඒ කුමන විවේචන විවාද මැද වුවද වාම ආදර්ශයන් සපුරා බැහැරකොට මේ රටට හෝ ලෝකයට නව ගමනක් නිමවා ගත නොහැකි බව විමල් තවමත් විශ්වාස කරන බවක් පෙනෙන්ට ඇති නිසාය. ඔහුගේ ඒ විශ්වාසයට මමද එකඟවෙමි. කෙසේ හෝ වේවා මේ කෘතිය අප රටක් වශයෙන් කාලයක් තිස්සේ මුහුණ දී සිටින අභියෝගය පිළිබඳ අතිශය තියුණු සහ බැරෑරුම් ලියවිල්ලක් යැයි සිතමි. ඒ අභියෝගය මේසා තියුණු ලෙස විනිවිද දැකිය හැකි අන් කිසිදු දේශපාලනඥයකු වත්මන් පාර්ලිමේන්තු නාඩගම් මඩුව තුළ නැත. නූතන ලෝක බල තුලනයේ ස්වභාවය, ඒ තුළ ඉන්දියාව, චීනය හා ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රාජ්‍යන්ගේ හැසිරීම, එය රටක් වශයෙන් අපිට බලපාන ආකාරය, ඒ තුළ වාමාංශික යැයි කියාගන්නා පක්ෂවල අමන භූමිකාව, මේ අභියෝගය ජයගත හැකි සැබෑ ජනතා ව්‍යාපාරයක හැඩරුව, එවැනි ව්‍යාපාරයකට අප සතු ඓතිහාසික සභ්‍යත්වයෙන් උකහා ගත හැකි ශක්තියේ තරම ආදී පැතිරුණු පරාසයක කාරණා විමල් මේ කෘතිය තුළ සංවාදයට ලක්කරන ආකාරය විශිෂ්ටය.

ශිෂ්ටත්වයේ උභතෝකෝටිකය
පළමු කොටම මේ කෘතිය නූතන ලිබරල් අධිරාජ්‍යවාදයේ පැතිරුණු ඉසව් ගැන තියුණු විවරණයකි. ලෝකයේ සම්පත්වලින් සියයට හැත්තෑවක් අසූවක් නතුකොට ගෙන අධි පාරිභෝජනවාදී ජීවිත ගත කරන මේ අතළොස්සක් පිරිස විමල් හඳුන්වන්නේ 'ගෝලීය සුපිරි සමාජය' නමිනි. ඔවුන්ගේ ලෝක පාලන සුදම් සභාව සමන්විත වන්නේ ඊනියා ස්වාධීන ජාත්‍යන්තර ආයතන, මූල්‍ය ආයතන, රහස් ඔත්තු සේවා, නවීන සන්නද්ධ හමුදා, බලසම්පන්න ජනමාධ්‍ය, බහුජාතික සාමගම්, එන්ජීඕ සංවිධාන ආදී ශක්තිමත් ගෝලීය බල ව්‍යුහයන් ජාලයකිනි. පරිධීය රාජ්‍යයන් තුළ අවුළුවනු ලබන අභ්‍යන්තර ගැටුම්, ජාතිවාදී ආගම්වාදී අරගල, මත්ද්‍රව්‍ය, වංචා දූෂණ, අවිචාරවත් ලිංගික නිදහස, පාතාල මාෆියාව, පාරිභෝජනවාදය, අරාජිකත්වය, දුගීභාවය ආදී සියලු ව්‍යසනයන් සහ ගෝලීය සුපිරි සමාජයේ පැවැත්ම අතර ඇත්තේ අනුලංඝනීය සම්බන්ධයකි. අනතුරුව මේ සියලු ව්‍යසනයන් සඳහා ව්‍යාජ පිළිතුරුද ඔවුන් විසින්ම නිර්මාණය කර දෙයි. යහපාලනය, ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම්, සංහිඳියාව, බහු සංස්කෘතිය, ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ, බලය බෙදීම, පෞද්ගලීකරණය ආදී ලේබල් සහිතව මේවා පෙරට එයි. බටහිරකරණයේ ව්‍යසනයන්ට විසඳුම ලෙස ඉදිරිපත් කෙරෙන මෙකී බටහිරකරණයේම බෙහෙත් වට්ටෝරුව විසින් සිදු කරනුයේ තවදුරටත් පරිධීය රාජ්‍යයන් බෙලහීන කොට බියකරු පාතාලයක ගිල්වා දැමීමය. අවශ්‍ය වූ විට නිර්ලජ්ජිත ලෙස මිලිටරි බලාත්කාරයද මීට යොදා ගැනෙයි. අද බටහිර රටවල විනීතව වාහන එළවන නීතිගරුක රියැදුරන් දැක පුදුම වන සාමාන්‍ය ලාංකිකකයාගේ සිට ලන්ඩනයෙන් ශිෂ්ටත්වයේ සිහින දකින පශ්චාත් නූතනවාදියා දක්වා වූ බොහෝ දෙනා මේ සුපිරි සමාජ පැවැත්ම පසුපස ඇති ලේ වැකි පින්තූරය නොදකිති.

යූඇන්පී වාමාංශිකයෝ
මීළඟට නූතන වාමාංශික හා විකල්ප යැයි කියාගන්නා දේශපාලන ව්‍යාපාර පිළිබඳ කරන විවරණය මේ කෘතියේ බලවත්ම අංගය යැයි සිතමි. පෙර කී ගෝලීය සුපිරි සමාජයේ බල ව්‍යාපෘතිය හමුවේ ඔවුන්ගේ හැසිරීම කෙබන්දක්ද? ඔවුන් අද මේ තත්ත්වය ගැඹුරින් වටහා ගැනීමට අසමත් වී ඇතිවා පමණක් නොව, ඒ බොහෝ දෙනා අද දැනුවත්ව මෙන්ම නොදැනුවත්වද නව ලිබරල් ව්‍යාපෘතියේ බළල් අත් බවට පත් වී ඇති ආකාරය එකම ඛේදවාචකයකි. ලංකාවේ බොහෝ මාක්ස්වාදී පශ්චාත් නූතනවාදී පුස්සන්ට අනුව අධිරාජ්‍යවාදය බොරු බිල්ලෙකි. දෘෂ්ටිවාදී ගොඩනැංවීමකි. ශිෂ්ට ධනවාදය ජාතිවාදයෙන් ආගම්වාදයෙන් තොර යැයි සිතන, අරාබි වසන්ත කම්කරු පන්ති නැඟිටීම් ලෙස දකින මේ අරුම පුදුම වාමාංශිකයන්ට කොකාකෝලා යනු මහා සංස්කෘතික උරුමයකි. මේ කොකාකෝලා චින්තකයෝ පසුගිය මැතිවරණයේදී ජවිපෙ වේදිකාවලට ගොඩවී ඔවුන්ට ඡන්ද ලක්ෂ ගණනින් රැස්කර දුන් ආකාරය කාටත් මතක ඇත. අද සයිටම් එකට විරුද්ධව මාරාන්තික ඝෝෂා නඟන මේ වාමාංශිකයෝ රනිල්ගේ ව්‍යවස්ථාවට කොන්දේසි රහිතව ආවඩති. අතුරුදන්වූවන් සෙවීමේ කාර්යාල පිහිටුවීමට අත් ඔසවති. නව ලිබරල් අධිරාජ්‍යවාදයට එරෙහිව නාමික ඝෝෂා නඟන ඊනියා පෙරටුගාමීහු අන් කාටත් වඩා හොඳින් නව ලිබරල් දෘෂ්ටිවාදය කරපින්නා ගෙන සිටිති. දෙමළ ජාතිවාදය, බෙදුම්වාදය, සිංහල බෞද්ධ විරෝධය, ඉතිහාස විරෝධය, විකල්ප ගෝත්‍ර කල්ලි හා ඔවුන්ගේ දාර්ශනික සීතාම්බර කඩමාලු ආදිය ලිබරල්වාදයේ බල මෙවලම් බව මේ තක්කඩියෝ නොදනිති.

එපමණක් නොවේ, මෙකී ලිබරල් දෘෂ්ටිවාදයේ සේල්ස් රෙප්ලා විසින් මෙරට සාහිත්‍ය, කලාව ඇතුළු ශාස්ත්‍රීය ලෝකයද ආක්‍රමණය කරමින් සිටින්නේ කාලයක සිටය. ෆුල්බ්‍රයිට් ආචාර්ය මහාචාර්යවරු ඇතුළු ඊනියා උගතුන් හා ඔවුන්ගේ අනුකාරක ගෝල බාලයන් මේ සඳහා යොදා ගනු ලැබේ. ඔවන් එහිදී නව ලිබරල්වාදයේ ලණුව අඹරා අපිට ගිල්ලවනු ලබන්නේ විමුක්තිකාමී බාහිර පෙනුමක් සහිත මහා දාර්ශනික ආවරණද සමඟිනි. ඒ සඳහා ජිජැක් වැනි කාඩ්බෝඩ් දාර්ශනිකයන්ද ඔවුන්ට බටහිර ලෝකය විසින්ම සකසා පුම්බා දී තිබේ. සැබෑ ජනතා ව්‍යාපාරවල කොටස්කරුවන් විය යුතු බුද්ධිමත් තරුණ පිරිස් ව්‍යාජ දාර්ශනික පඹගාල්වල පටලවා නන්නත්තාර කිරීම සඳහා ඔවුන්ට එවැනි රූකඩ දාර්ශනිකයන් අවශ්‍යය. දැනුම යනු කුමක්දැයි නොදන්නා බාලයෝ මොවුන්ගේ මේ දාර්ශනික සෙල්ලම් පිස්තෝල දැක සලිත වෙති. ඒ දීනකම අතින් නම් ලංකාවේ කවියන්, සාහිත්‍යකරුවන්, විචාරකයන් තරම් නිවට පඟරනැට්ටන් පිරිසක් ලෝකයේ කිසිදු රටක වෙසේදැයි නොදනිමි. විමල් ඉතා නිවැරැදිව විග්‍රහ කරන පරිදි මේ සියල්ල හරහා ඔවුන්ගේ පළමු න්‍යාය පත්‍රය වනුයේ මේ රටේ ඓතිහාසික සභ්‍යත්වයට, සංස්කෘතියට පහරදීමය. ඊට ප්‍රතිපක්ෂව ම්ලේච්ඡ ලිංගික නිදහස, අරාජිකත්වය, මත්ද්‍රව්‍ය, මජර පාරිභෝජනවාදය, බටහිර නූතනවාදයේ සුරපුරය ආදිය උත්කර්ෂයට නැංවීමය. එදා රත්නදීප ජන්ම භූමි ලියූ සේකරලා වෙනුවට, මහා වංශයේ කොළයක් ඉරා ගංජා ඔතන ආකාරය ගැන කවි ලියන මජරයන් අදබිහිවනුයේ මෙවැනි සන්දර්භයක් තුළිනි. තව නොබෝ දිනකින් හෙරොයින් හෝ ළමා අපචාර ප්‍රවර්ධනය කරන කවි හෝ නවකතා පවා මේ සමාජ වෛරක්කාරයන් අතින් ලියැවීමට ඉඩ ඇත. මේවා සිදුවන්නේ වාමාංශික පක්ෂවල විවිධාකාර අනුග්‍රහයන්ද යටතේය. මේ සියල්ල නව ලිබරල් දේශපාලනයේ බල මෙවලම් බව ඔවුහු නොදනිති. නැතහොත් නොදන්නා සේ කටයුතු කරමින් සිටිති.

හරි පාර හා අබලන් වාහනය
මේ කෘතියේ මීළඟ වැදගත්කම වනුයේ මෙරට දේශපාලනයේ ප්‍රධාන ප්‍රතිවිරෝධය වන ජාතිකත්වය හා විජාතිකත්වය අතර වන ප්‍රතිවිරෝධය නිවැරැදිව හඳුනාගැනීමය. අද උතුරේ යුද්ධය, රජරට වකුගඩු රෝගය ආදියේ සිට වික්ටර් රත්නායකගේ විවාහය දක්වා වූ සියලු ප්‍රශ්නවලට අදාළ සමාජ දේශපාලන ගැටුම මතුවනුයේ මේ කඳවුරු දෙක අතර බව ඉතා පැහැදිලිය. මේ ප්‍රධාන ප්‍රතිවිරෝධය හඳුනාගනිමින් ඊට සාපේක්ෂව සිට ගත නොහැකිව, වියුක්ත පන්ති සටන කරට ගන්නා ඕනෑම විකල්ප ව්‍යාපාරයක්, විජාතික බලවේගවල බළල් අණ්ඩක් ලෙස ස්වයං විනාශයට ලක්වීම වැළැක්විය හැකි නොවේ. මෙය පැරැණි වම, ජවිපෙ, පෙසපෙ ඇතුළු බොහෝ වමේ පක්ෂවල පරාභවය ඇසුරෙන් වටහා ගත හැක්කකි.

විමල්ගේ එක් විශේෂත්වයක් වන්නේ බොහෝ වම්මුන්ට උරුම මේ ඉරණමින් මිදී නිවැරැදි කඳවුර තුළ ස්ථානගත වීමට ඔහු සමත් වීමය. ඒ සඳහා වූ තියුණු දේශපාලන ඉවක් හා දුර දැක්මක් ඔහු සතුය. එහෙත් ඔහුට ජයගත නොහැකි වූ අභියෝගයක්ද තිබේ. ඒ ජාතිකවාදී කඳවුර නිසි අතට මෙහෙයවා ගැනීමේ අභියෝගයයි. මහින්ද රාජපක්ෂ මහතා මුල් කරගත් මේ බලවේගය නිසි මඟ ගෙන යෑමට හෝ එහි වූ කුණු කන්දල් පිරිපහදුකොට රටට නව මාවතක් පාදා දීමේ මහා අභියෝගය නිසි පමණින් ජය ගැනීමට විමල් හෝ මහින්ද හෝ සමත් වූයේ නැත. විමල්ට සිදුවූයේ මහින්ද වෙතටම නැමී ඔහුගේ කොන්දේසි විරහිත ආරක්ෂකයා වීමටය. මහින්ද ආරක්ෂා කිරීමත්, නිවැරැදි කිරීමත් යන දෙකම එකවර කිරීමට විමල්ට හැකි නොවීය. විමල්ගේ පෞරුෂය හා අනන්‍යතා විනාශ කළ මේ ක්‍රියාවලිය අවසන් වූයේ මහින්දගේ අකල් පරාජයෙනි. ඊට අදාළව විමල් පිළිබඳ වූ සාධාරණ විවේචන ඇතත්, එය ජවිපෙ ස්වයං විනාශයට අදාළ සංකීර්ණ දේශපාලන සන්දර්භය පසෙකලා විග්‍රහ කළ හැකි ගැටලුවක්ද නොවේ. ඒ කුමන අවුල් වියවුල් මැද වුවද ඔහු රටේ දේශපාලනයේ ප්‍රධාන ප්‍රතිවිරෝධය කුමක් දැයි හඳුනාගනිමින් ඊට සාපේක්ෂව සිට ගැනීම අතිශය වැදගත්ය. ඒ මූලික කොන්දේසිය කඩකොට කැපකිරීම් ගැන, අවංකකම් ගැන, ප්‍රතිපත්ති ගැන, නන් දෙඩවීමෙන් කිසිදු තේරුමක් නැත. බැලූ බැල්මට අදටත් පක්ෂ යාන්ත්‍රණය අතින් සාමාජික කැපවීම අතින් ජවිපෙ විමල්ට වඩා විධිමත්ය. එහෙත් එය පමණක් ජයග්‍රහණයට ප්‍රමාණවත් නොවේ. සැකෙවින් කියතොත් ජවිපෙ වාහනය විමල්ගේ වාහනයට වඩා සවිමත්ය. අලංකාරය. රතු පාටය. එහෙත් එය ගමන් කරන මාවත වැරැදිය. එය වැටී ඇත්තේ නිසැක විනාශය කරාය. විමල්ගේ වාහනය ඊට වඩා අබල දුබලය. රතු පාට නැත. නමුත් එය තෝරාගෙන ඇති මාර්ගය නිවැරැදිය. එය වැටී ඇත්තේ රටේ ජයග්‍රහණය කරාය. එහෙයින් විමල් දැන් හෝ නොපමාව කළ යුත්තේ මේ නිවැරැදි මාර්ගයේ ශක්තිමත්ව ඉදිරියට යා හැකි වන ආකාරයට තම වාහනය අලුත්වැඩියා කර ගැනීමය.

ජාතිකවාදයද? සමාජවාදයද?
අවසාන වශයෙන් විමල් සමාජවාදය දකිනුයේ බාහිරින් ආරෝපණය කළ යුත්තක් ලෙස නොව අප සතු ඓතිහාසික සභ්‍යත්වයේම කොටසක් වශයෙනි. මාක්ස්ගේ සමාජවාදී ආකෘතිය තුළ මතුවූ ගැටලු මෙන්ම, වමට ආවේණික උපන්ගෙයි දෝෂ මොනවාද යන කාරණය ගැනද විමල්ට හොඳ අවබෝධයක් ඇති බව මම දනිමි. එමෙන්ම අපිට අවශ්‍ය අනාගත සමාජය අපේ සභ්‍යත්වය මත පදනම්ව අප විසින් නිර්මාණය කරගත යුත්තක් විනා, කල් තබා සැකසූ දාර්ශනික අච්චුවකට අනුව නියාමයකට අනුව බිහි නොවන්නක් බව ඔහු මෙහිලා පැහැදිලිව අවධාරණය කරයි. මාක්ස්වාදය පරම දැනුමක් ලෙස සලකන දේශපාලන නිගණ්ඨයන්ගෙන් කිසිදා මේ විවෘත භාවය අපේක්ෂා කළ නොහැකිය. මාක්ස්වාදය දාර්ශනික මර උගුලක් බවට පත්කරගත් තවත් එක් සාම්ප්‍රදායික වමේ පක්ෂයකට කිසිදු ආකාරයකින් මේ රට වෙනස් කිරීමට හැකියාවක් නැත. එය කළ හැක්කේ වමෙන් නිසි ආභාසය පමණක් ලබන නිර්මාණශීලී ප්‍රායෝගික ව්‍යාපාරයකට පමණි. එසේම සමාජවාදය සපුරා බැහැර කරන ජාතිකවාදය සම්බන්ධවද මෙහිදී යමක් කිව යුතු වන්නේ සමාජවාදී පරමාර්ථ මී කුණක් සේ බැහැර කරන ජාතිකවාදීන් පිරිසක්ද මෙරට සිටින නිසාය. ෆිදෙල්ගේ මරණය අවස්ථාවේදී ඔවුහු පිදෙල් යනු සමාජවාදයේ 'ස' යන්නවත් නොදන්නා ජාතිකවාදියෙක් බව පෙන්වීමට වෙරදැරූහ. එහෙත් පිදෙල් හුදු ජාතිකවාදියකු පමණක් වී නම් ඒ ගමන කෙළවර වනු ඇත්තේ හවානා නුවර දළදා මාලිගා වටා කාර් රේස් පදින රජ පුතුන්ගේ නාටකීය ජාතිකවාදයකිනි. එහෙයින් මේ රට ගොඩනැඟිය හැකි ව්‍යාපාරයක් ජාතිකත්වයෙන් මෙන්ම වාම සම්ප්‍රදායන්ගෙන්ද පෝෂණය ලැබිය යුතු වෙයි.

අනාගත අභියෝගය
විමල් යනු නිකම්ම නිකම් දේශපාලන නායකයකු නොව, රටේ ඉතිහාසය වෙනස් කළ ආනුභාව සම්පන්න දේශපාලන නායකයෙකි. එවැනි නායකයන් ඉතිහාසය තුළ නිර්මාණය වනුයේද කලාතුරකිනි. යමෙකුට ආසාව තිබූ පළියට, හැකියාවන් තිබූ පළියට, දැන උගත්කම් තිබූ පළියට, මේ ආනුභාව සම්පන්න නායකයාගේ භූමිකාව පණ පෙවීමට ලෙහෙසියෙන් ඉඩ ප්‍රස්තා විවර නොවේ. මෙරට ඉතිහාසය කෙරේ විමල්ගේ මෙකී වෙසෙස් බලපෑම කෙබන්දක් වේද? එය පළමුව අනූහතරේ පසු ජවිපෙ නැවත නැඟිටීම කෙරේ අතිශය තීරණාත්මක විය. අනතුරුව එජාපයේ බෙදුම්වාදී, නව ලිබරල්වාදී වැඩපිළිවෙළට එරෙහිව ජවිපෙ මූලිකත්වයෙන් දියත් වූ පුළුල් ජාතික අරගලයේ කැපී පෙනුණු බහුජන නායකයා පමණක් නොව හදවත සහ බුද්ධිය වූයේද විමල්ය. අනතුරුව ජවිපෙ ඉතා අවාසනාවන්ත ලෙස ජාතික අරගලයෙන් බැහැරව නන්නත්තාර වනවිට ඒ ඛේදනීය ඉරණමට එරෙහිව පක්ෂය තුළින්ම නැඟී සිටි නායකයා වූයේද විමල්ය. ඔහු ජවිපෙ තුළ හා ඉන් බැහැරව සිට දියත් කළ අරගලය කොටි ත්‍රස්තවාදයේ ඓතිහාසික පරාජය දක්වාම පෙරට ගිය අතර ඒ මහා සටනේ එක් තීරණාත්මක බල කණුවක් වූයේද විමල්ය. රාජපක්ෂ ආණ්ඩුව හා එක්ව කළ දේශපාලනය තුළ දරුණු කුණාටුවකට මුහුණදීමට ඔහුට සිදුවුවද, බොහෝ අවස්ථාවලදී අසීරුවෙන් හෝ රටට නිසි මඟ පෙන්වීමට විමල්ට හැකිවිය. අනතුරුව ජනාධිපතිවරණ පරාජයෙන් පසු ඇද වැටී සිටි මහින්දව යළි කරළියට ගෙන ඒමේ සටනේ ප්‍රබලතම නියමුවා වූයේද විමල්ය. එවැනි නායකයකුට ඉතිහාසය විසින් මේ මොහොතේ පවරනු ලබන කාර්යභාරය පෙර කී සියල්ලට වඩා තීරණාත්මක විය හැකිය. එය දෙවැනි වනවා නම් දෙවැනි විය හැක්කේ කොටි ත්‍රස්තවාදය පැරදවීමේ යෝධ දේශපාලන සංග්‍රාමයට පමණි. රට ඉල්ලන වම කෘතිය වනාහි විමල් පිළිබඳ විශ්වාසය නැවත අවුළුවාලන්නකි. ඝෝෂාකාරී දේශප්‍රේමය තුළ ස්වකීය ප්‍රබලතා අහිමි කර ගනිමින් සිටි විමල් තුළ තවමත් නොනැසුණු ජවයක්, සමාජ අනුරාගයක් හා හෘද සාක්ෂියක් ඉතිරිව ඇති බව මේ කෘතිය රටට හඬගා කියයි. ඉතිරිව ඇත්තේ ඒ හඬට සවන් දිය හැකි මහජන ව්‍යාපාරයක් නිර්මාණය කරගැනීමේ අභියෝගය පමණි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්