යටි හනුවේ ඇනී මුඛයෙන් පිටතට ආපු යකඩ කූර

  👤  3579 readers have read this article !
By mawbima 2017-10-13

පුද්ගලයකුගේ යටි හනුවෙන් ඇනී මුඛයෙන් පිටතට පැමිණි යකඩ කූරක් පැය එකහමාරක සාර්ථක සැත්කමකින් අනතුරුව ඉවත් කිරීමට හැකිවී යැයි හෝමාගම මූලික රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය ධම්මික වික්‍රමසේකර මහතා පැවැසීය.

හෝමාගම පනාගොඩ ප්‍රදේශයේ ඥාති නිවෙසකට පැමිණි පුද්ගලයකු අඩක් වැඩ නිම කළ උඩු මහලේ ඇවිදිමින් සිටියදී හදිසියේ ලිස්සා වැටීමෙන් එහි කොන්ක්‍රීට් කණුවක තිබූ යකඩ කූරක් එම පුද්ගලයාගේ යටි හනුවෙන් ඇනී මුඛයෙන් පිටතට පැමිණ ඇති අතර පසුව අසල්වාසීන් එක්ව එම කම්බි කූරද සමඟින් එම ස්ථානයට විගස පැමිණි 1990 සුව සැරිය ගිලන් රථය මඟින් රෝගියා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර ඇත.

පසුව වහාම ක්‍රියාත්මක වූ හෝමාගම මූලික රෝහලේ වෛද්‍යවරු සහ කාර්ය මණ්ඩලය වහා අවශ්‍ය මූලික ප්‍රතිකාර සිදුකර රෝගියා සැත්කමකට භාජන කිරීම සඳහා අවශ්‍ය පියවර ගෙන තිබේ. ඒ අතර රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය ධම්මික වික්‍රමසේකර මහතා ඇතුළු වෛද්‍ය කණ්ඩායමක් වහාම පැමිණ අවශ්‍ය ශල්‍යකර්මය සිදුකිරීමට කටයුතු කර ඇත.
"මෙම ශල්‍ය කර්මය පිළිබඳ අදහස් දැක්වූ හෝමාගම මූලික රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය ධම්මික වික්‍රමසේකර මහතා,

අපිට තිබූ මූලික ගැටලුව වූයේ මෙම රෝගියාගේ යටි හනුවේ ඇනී තිබූ යකඩ කූර ගැලවීමෙන් පසු ලේ පෙණහලුවලට යෑමෙන් ගැටලුවක් ඇති වේවිද යන්නයි. ඒ නිසා අප පළමුව රෝගියා සිහි නැති නොකොට නින්ද යන්න ප්‍රතිකාරයක් ලබාදී යකඩ කූර ගලවා ඉවත් කර ලේ වහනය වීම නවත්වා ඉන් අනතුරුව සිහි විසඥ කොට අවශ්‍ය ශල්‍ය කර්මය සිදුකළා. මේ වනවිට රෝගියා හදිසි අනතුරු අංශයේ ප්‍රතිකාර ලබා සුව අතට පත්වීමෙන් පසු සාමාන්‍ය වාට්ටුවක ප්‍රතිකාර ලබනවා
අපට මෙම ශල්‍යකර්මය පහසු වූයේ යකඩ කූර ඇනීමෙන් පසු එය නොගලවා ඉතා පරිස්සමට රෝහලට රැගෙන ඒමට කටයුතු කර තිබූ නිසයි" වෛද්‍ය වික්‍රමසේකර මහතා පැවැසීය.

අනතුර සිදුවූ නිවෙසේ හිමිකරු වන ඩොනල්ඩ් විජේසිංහ මහතා එම අවස්ථාව පිළිබඳ මෙසේ විස්තර කරන ලදී.
"අනතුරට ලක්වූ මල්ලි අපේ ගෙදර ඇවිත් තවමත් වැඩ අවසන් නොවූ ස්ලැබ් එකේ ඇවිදිමින් සිටියා. එකපාරටම එයා ලිස්සලා ගිහින් එම තට්ටුවේ ඉහළට ඉදිකිරීමට කොන්ක්‍රීට් කණුවකින් පිටතට දමා තිබූ යකඩ කම්බිකූරක් යටි හනුවෙන් ඇනී දත් කිහිපයකුත් කඩාගෙන කටින් පිටතට ආවා. පසුව අපි 1990 සුව සැරිය ගිලන් රථයකට කතා කළා. එයාලා විනාඩි දහයක් වගේ කාලයකදී එතැනට ආවා. පස්සේ අපි යකඩ කපන විදුලි කියතක් ගෙනැවිත් යකඩ කූර කපා මල්ලිව යකඩ කූරත් සමඟම ගිලන් රථයට රැගෙන ගියා" යැයි පැවැසීය.

මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ හංවැල්ල ජල්තර ප්‍රදේශයේ පදිංචිකරුවකු වන ශාන්ත ඒකනායක නමැති 54 හැවිරිදි දෙදරු පියකු වන අතර මේ වනවිට ඔහු සාමාන්‍ය තත්ත්වයට පැමිණෙමින් හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබන බව ඔහුගේ ඥාතීහු පවසති.
මෙම ශල්‍යකර්මය සඳහා විශේෂඥ ශල්‍ය වෛද්‍ය ධම්මික වික්‍රමසේකර මහතාගේ මූලිකත්වයෙන් ජේ‍යෂ්ඨ වෛද්‍ය නිලධාරීන් වන වෛද්‍ය චානක රාජපක්ෂ, කාවින්ද නාගොඩවිතාන, නිර්වින්දන වෛද්‍යවරුන් වන වෛද්‍ය ඉමාලි ගම්හේවා, වෛද්‍ය බුද්ධි ගුරුගේ ශල්‍යාගාර කාර්ය භාර නිලධාරී සමන් ගීපොළවත්ත, හෙදියන් වන දිලානි කුමාරගේ, අනුෂා ජයසිංහ ඇතුළු ශල්‍යාගාර කාර්ය මණ්ඩලය සහභාගි වී ඇත.

පනාගොඩ - චම්පා ජීවන්ති

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්