පළාත් පාලන ඡන්දය ජනවාරියේ: පළාත් සභා ඡන්දය මාර්තුවේ

  👤  3566 readers have read this article !
By mawbima 2017-10-13

දෙනගම ධම්මික රණවීර

පළාත් පාලන නව මැතිවරණ ක්‍රමය ඔස්සේ ජනතාවට වගකියන ජනතා නියෝජිතයකු තෝරා ගැනීමට අවස්ථාව සැලසීම මෙරට ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රමයේ සන්ධිස්ථානයක් යැයි කතානායක කරු ජයසූරිය මහතා ප්‍රකාශ කළේය.
කතානායකවරයා එසේ පැවැසුවේ පසුගිය සඳුදා (09දා) පාර්ලිමේන්තුවේදී සම්මත වූ මහනගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා සංශෝධන පනත් බලාත්මක කරමින් ඊයේ (12දා) එම පනත් 3ට අස්සන් කළ අවස්ථාවේදීය. පාර්ලිමේන්තුවේ කතානායක නිල කාර්යාලයේදී ඊට අස්සන් තැබිණි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කතානායක කරු ජයසූරිය මහතා මෙසේද පැවැසීය.

අද ශ්‍රී ලංකා දේශපාලනයේ ඓතිහාසික අවස්ථාවක්. වසර ගණනාවක් තිස්සේ මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම සම්බන්ධයෙන් හඬක් නැඟුණා. මනාප ක්‍රමය වෙනස් කිරීමට, කාන්තාවන්ට දේශපාලන ක්ෂේත්‍රය තුළ මීට වඩා වැඩි අවස්ථාවක් ලබා ගැනීමට ආගමික නායකත්වය, කාන්තා හා තරුණ පරම්පරාව, සිවිල් සමාජය උනන්දුවෙන්, විමසිල්ලෙන් සිටියා. එහි ප්‍රතිඵලයක් ලෙස පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළව මහ නගර සභා නගර සභා සහ ප්‍රාදේශීය සභා පනත් තුන සංශෝධනය කිරීමට පාර්ලිමේන්තුවේ අනුමැතිය පළ වුණා. කතානායක ලෙස අද ඊට අස්සන් කිරීමත් සමඟ එය නීතියක් බවට පත්වුණා.

විශාල දුෂ්කරතා, අභියෝග මධ්‍යයේ තමයි නව මැතිවරණ ක්‍රමය සකස් කිරීමට හැකි වුණේ. මෙය සකස් කිරීමේදී මැති ඇමැතිවරුන්ටත්, නිලධාරීන්ටත් අපහාස ලැබීමට සිදු වුණා. ඒ පිළිබඳ මා කනගාටුවට පත් වෙනවා. නමුත් ඒ අය කළේ ජනතා ඉල්ලීමක් වෙනුවෙන් තමන්ගේ සේවය කැප කිරීමයි. ඒ අනුව මේ රට තුළ අලුත් දේශපාලන සංස්කෘතියක් ඇති කිරීමට අවස්ථාව ලැබී තිබෙනවා. ඒ සම්බන්ධව පාර්ලිමේන්තුවේ වැඩ කොටස අදින් අවසානයි.

ඒ අනුව පළාත් පාලන මැතිවරණය ජනවාරියේ තැබීමටත් පළාත් සභා මැතිවරණය මාර්තු මාසයේ තැබීමටත් අගමැතිතුමාත්, සහ විෂය භාර අමාත්‍යතුමාත් පොරොන්දු වුණා. ඒ වෙනුවෙන් සියලු දෙනාගේ කැපවීම අවශ්‍යයි.
පළාත් සභා හා පළාත් පාලන ආමාත්‍ය ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා
මනාප ක්‍රමය අහෝසි කළ දේශපාලන ක්‍රමය මඟින් මෙරට දේශපාලනයේ විපර්යාසයක් ඇති කිරීමට අපට හැකි වුණා. පෙර වැරැදිවලට දුක් විඳින්න සිදුවීම නිසා තමයි ඡන්දය කල් ගියේ. මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා ආඥා පනත් තුන සංශෝධනය කිරීම නිසා පළාත් පාලන ආයතනවල මන්ත්‍රි ධුර සංඛ්‍යාව සංස්ථාපනය කිරීමට අනිත් අයටත් අවස්ථාව දිය යුතුයි.

බලය එක තැනක කේන්ද්‍රගත වීම වෙනස් කිරීමට පළාත් පාලන ආයතනවලට අලුත් පනත් තුනක් ඉදිරිපත් කරනවා. ප්‍රතිපත්ති ගැන පළාත් පාලන ආයතන ප්‍රධානියාට කටයුතු කිරීමත්, ක්‍රියාත්මක කිරීමේදී අනිත් අයගේ සහාය ගැනීමත් ඉන් අපේක්‍ෂා කරනවා.
මන්ත්‍රි ධුර සංස්ථාපනය ගැන සිකුරාදා මැතිවරණ කොමිසම සමඟ සාකච්ඡා කරනවා. ඉන් පසුව මන්ත්‍රි ධුර සංඛ්‍යාව සංස්ථාපනය කරනවා. මෙය ගැසට් කිරීමට ඍජු බලයක් තිබුණත් මැතිවරණ කොමිසමේ අදහස් ලබා ගැනීමට මම හිතුවා.

එක් පවුලකින් එක් කෙනෙක් දේශපාලනයට ගෙන ඒමේ සංස්කෘතියකට අප යොමු විය යුතුයි. තාත්තගෙන් පුතාට නැත්නම් ඥාතියාට කියන සංකල්පයෙන් බැහැර වැඩසටහනක් අපි අරඹනවා. අද හුඟක් අය හිතන්නේ දේශපාලන පවුලකින් ආවොත් පමණක් අවස්ථා ඇති බවයි. ඒක වෙනස් කළ යුතුයි.
පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් කමල් පද්මසිරි යන මහත්වරුද මේ අවස්ථාවට සහභාගි වූහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්