කොමිෂන් සභා ස්වාධීනව කටයුතු කරන විට ඇමැතිවරයා ඒවා තමන්ට නතු කරගන්න හදනවා

  👤  3572 readers have read this article !
By mawbima 2017-10-13

දයා පෙරේරා

පරාජය දැක දැක වියරු වැටී සිටින සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්නට ඉතිහාසයේ අත් විය යුතු නියම ස්ථානය හිමිකර දෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් ‍ෙදාස්තර නවීන් ද සොයිසා පවසයි.
සෞඛ්‍ය අමාත්‍යවරයා රාජ්‍ය සේවා කොමිසමට ලොකු දෝෂාරෝපණයක් සිදුකර තිබුණා. රාජ්‍ය සේවා කොමිසමේ නිලධාරීන් තීන්දු ගන්නා විට වැඩ කරන්න බැරිලු. ඇමැතිවරයා හොඳටම වියරු වැටිලා. සටනකදී පරාජය පේන කොට හැසිරෙන වියරුව අප දුටුවා.

හෙතෙම මෙසේ ප්‍රකාශ කළේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන කාර්යාලයේ ඊයේ (12දා) පැවැති මාධ්‍ය හමුවේ දීය.
ඉදිරි මැතිවරණයකට සංගමයේ වෛද්‍යවරු සූදානම් කරන බවට ඔහු චෝදනා කරනවා. එක දන්ත වෛද්‍යවරයකුට මෙහෙම විනාශයක් කරන්න පුළුවන් නම් වෛද්‍යවරු විසිපහක් ආවොත් කොහොමද? රාජිත සිටින මඩවළට වැටෙන්න ඕන නැහැ. වෛද්‍යවරු 25ක් පාර්ලිමේන්තු එනවා වෙනුවට මේ සිටින කෙනා ගෙදර යවන්න කටයුතු කරනවා. එතුමා මොනවා කීවත් ඔහු වැනි දේශපාලනඥයන් දේශපාලනයේ නොසිටිය යුතුයි.
අප සංගමය මහින්ද රාජපක්ෂ සමඟ සිටිනවා යැයි ඇමැතිවරයා කියන්නේ කොහොමද? මහින්ද රාජපක්ෂ සමඟ සිටියේ කවුද? රනිල් සමඟ සිටියේ කවුද? රනිල් වැඩක් නැහැ කියලා ගියේ කවුද? එයා දැන් ඉන්නේ කොතනද?
ස්වාධීන කොමිෂන් සභා හදා ගන්න ඕනෑ බව පැවැසුවා. ඒවා ස්වාධීනව කටයුතු කරන විට ඒවා තමන්ට නතුකර ගන්න හදනවා. තමන්ට නතුකර ගන්න බැරි වූ විට විවේචන කරනවා. එහෙම කරන්න දෙන්න බැහැ.

රාජ්‍ය සේවා කොමිසමේ ස්වාධීනත්වයට අත තියන්නත් මාධ්‍ය මඟින් බලපෑම් කිරීමටත් උත්සාහ කළොත් එම කොමිෂන් සභාව වෙනුවෙන් කොන්දේසි රහිතව පෙනී සිටිනවා. යැයිද හෙතෙම පැවැසීය.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ
රාජිත අමාත්‍යවරයාගේ වත්මන් ක්‍රියාකාරකම් නිසා "සයිටම්" ගැටලුව විසඳීමට තිබූ ඉඩකඩ දිනපතා දුරස් වෙනවා. ඇමැතිවරයාගේ විවිධ චෝදනාවලින් ඔහුගේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගම් භීතිකාව රටට නිරාවරණය වෙනවා. ඔහුගේ දේශපාලන නිරුවත අප රටට නිරාවරණය කර ඇති නිසා බිය වී ඇති ඇමැතිවරයා සංගමය බිය වද්දමින් සිය දේශපාලන අරමුණු ඉටු කර ගැනීමට ගන්නා උත්සාහය පරාජය වන දිනය වැඩි අෑතක නොවේ යැයිද කීවේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්