වෛද්‍ය සභාවේ සාමූහික මතයට ගරු නොකර ප්‍රෝඩාකාරී ආයතනයක් වෙනුවෙන් නව සභාපතිවරයා පෙනී සිටිනවා

  👤  3629 readers have read this article !
By mawbima 2017-10-13

ජේ.ටී.ද සිල්වා

සද්භාවයෙන් හැදූ වෛද්‍ය ආඥාපනත යටතේ සෞඛ්‍ය ඇමැතිවරයා සතු බලතල ඉතාමත් වැරැදි අන්දමට පාවිච්චි කරන බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය බරපතළ ලෙස චෝදනා කරයි.
එම පනත ක්‍රියාත්මක කිරීමේදී නිදහස ලැබූ දා සිට කිසිම සෞඛ්‍ය ඇමැතිවරයකු තමන්ගේ දේශපාලන අතකොළු වෛද්‍ය සභාවේ සභාපති ධුරයට පත්කර නැතැයිද එම සංගමය පෙන්වා දෙයි.

"වෛද්‍ය සභාව ස්වාධීන ආයතනයක්. ශ්‍රී ලංකාව තුළත්, ඉන් බැහැරවත් ඇති වෛද්‍ය විද්‍යාල සඳහා නෛතික පිළිගැනීමක් ලබාදීම, එම පිළිගැනීම සහිත වෛද්‍ය විද්‍යාලවලින් නියමිත සුදුසුකම් සම්පූර්ණ කරන ලද උපාධිධාරීන් වෛද්‍යවරුන් ලෙස ලියාපදිංචි කිරීම සහ එසේ ලියාපදිංචිය ලද වෛද්‍යවරුන්ගෙන් රෝගීන්ට සාධාරණය ඉටුවේද යන්න නියාමනය කිරීම වෛද්‍ය සභාවේ කාර්යභාරයයි. එම කාර්යභාරය නොසලකා හරිමින්, වෛද්‍ය සභාවේ නව සභාපතිවරයා සයිටම් හිතවාදියකු ලෙස එම ආයතනය ආරක්ෂා කිරීමේ ප්‍රබල උත්සාහයක යෙදී සිටිනවා" යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ පැවැසීය.
අනාදිමත් කාලයක සිට ශ්‍රී ලංකා වෛද්‍ය සභාව තම ආයතනය සතු ප්‍රමුඛ වගකීම්වලට අදාළ කර්තව්‍යයන් උපරිමයෙන් ඉටු කිරීමට කටයුතු කිරීමේ ප්‍රතිඵල ශ්‍රී ලංකාව තුළ පවතින උසස් සෞඛ්‍ය දර්ශකවලින් මනාලෙස පිළිබිඹු වන බවද වෛද්‍ය හරිත අලුත්ගේ කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී අවධාරණය කළේය.
වෛද්‍ය සභාවට නායකත්වය ලබාදෙන සභාපතිවරයා සැමට පිළිගත හැකි අපක්ෂපාතී කෙනකු විය යුතුය. ඔහුට දේශපාලන ගැති භාවයක් තිබිය නොහැකිය. වෙනත් පෞද්ගලික ව්‍යාපාර සමඟ සම්බන්ධකම් තිබිය නොහැකිය. වෛද්‍ය සභාවේ සාමූහික මතයට පිටින් ගොස් ප්‍රකාශ නිකුත් කිරීම කිසිසේත්ම කළ නොහැකි යැයිද ලේකම්වරයා පෙන්වා දුන්නේය.

"නව සභාපතිවරයා, වෛද්‍ය සභාවේ සාමූහික මතයට ගරු නොකර ප්‍රෝඩාකාරී ආයතනයක් වෙනුවෙන් දිගින් දිගටම පෙනී සිටිනවා. ඒ බව ප්‍රසිද්ධ මාධ්‍ය හරහාද ඔහු ප්‍රකාශ කරනවා. මෑතකදී ජනමාධ්‍ය හරහා ප්‍රසිද්ධියට පත්වූ සම්මුඛ සාකච්ඡාවක් හරහා නව සභාපතිවරයාගේ සයිටම් පක්ෂපාතිත්වය හා දේශපාලන ගැති භාවය මුළු රටටම නිරාවරණය වුණා" යැයිද හෙතෙම පැවැසීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon