පින්ලන්තයට සාපේක්ෂව අපේ අධ්‍යාපන ක්‍රමය දරුවන්ට පීඩාවක්

  👤  3643 readers have read this article !
By mawbima 2017-10-13

ලෝකයේ හොඳම අධ්‍යාපන ක්‍රමය ක්‍රියාත්මක වන පින්ලන්තය සමඟ ඇති කරගත් මෙම ගිවිසුම් හරහා ශ්‍රී ලංකාවේ පාසල් තුළ වෘත්තීය අධ්‍යාපනය දියුණු කිරීම ඇතුළු තවත් ක්‍ෂේත්‍ර ගණනාවක ප්‍රගමනයට මූලික අත්තිවාරම දැමූ බව හෙතෙම කීය.
පින්ලන්තය සංචාරයෙන් පසු අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා මෙසේද පැවැසීය.
ලෝකයේ හොඳම අධ්‍යාපන ක්‍රමය ක්‍රියාත්මක වන රට වන්නේ පින්ලන්තයයි. අප එහි සිදු කළ සංචාරයේදී එරට ක්‍රියාත්මක අධ්‍යාපන ක්‍රමය සම්බන්ධයෙන් විශේෂ අධ්‍යයනයක් සිදු කළා. එමඟින් පින්ලන්ත අධ්‍යාපනය ක්‍රමය සම්බන්ධයෙන් හොඳ අවබෝධයක් ලබාගැනීමට අපට හැකි වුණා. වෙනත් රටවල් හා සැසඳීමේ දී පින්ලන්තයේ පාසල් තුළ දරුවන් ඉගෙන ගන්නා කාලය සීමිත කර ඇති බව අපට දැක ගැනීමට හැකි වුණා.

පාසල් වෘත්තීය අධ්‍යාපනය පිළිබඳ පින්ලන්ත අධ්‍යාපන විශේෂඥයන්ගේ දැනුම අප රටට ලබාදීමට එකඟතාව පළ කර තිබෙනවා. ඒ වෙනුවෙන් ඉදිරියේදී සැලැසුම් සහගත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා. එමෙන්ම පින්ලන්ත අධ්‍යාපන ක්‍රමය හා ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රමය පිළිබඳව අධ්‍යයනය කිරීමේදී ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රමය තුළින් දරුවන්ට විශාල පීඩනයක් එල්ල වී තිබෙන බව හඳුනා ගැනීමට පුළුවන්. එක් එක් විෂයයන්ට අදාළව වසරක් තුළ හදාරන විෂය කරුණු ප්‍රමාණය අධික බව පෙනී යනවා. නමුත් පින්ලන්තයේ අඩු අධ්‍යයන කාලය, ප්‍රායෝගික අධ්‍යයනයට මුල් තැන ලබාදීම, විභාග අවම කිරීම, ගුරුවරුන්ගේ විශේෂඥභාවය, එනම් සෑම ගුරුවරයකුටම අවම වශයෙන් උපාධියක් සහ පශ්චාත් උපාධියක් අනිවාර්ය වීම, එක් පන්තියක අඩු සිසුන් සංඛ්‍යාවක් සිටීම නිසා එක් එක් දරුවන්ට පෞද්ගලිකව අවධානය යොමු කිරීම ආදී විශේෂ ලක්ෂණ ගණනාවක් පින්ලන්ත අධ්‍යාපන ක්‍රමය තුළ ක්‍රියාත්මක වෙනවා.
මීට අමතරව අවුරුදු 15-20ක ඉදිරි දැක්මක් අනුව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදු කිරීම, අධ්‍යාපනය සඳහා ඩිජිටල් තාක්ෂණය යොදා ගැනීම ආදී පින්ලන්ත අධ්‍යාපන ක්‍රමය තුළ ක්‍රියාත්මක වන සාධනීය කරුණු ගණනාවක් පිළිබඳ අපි අවධානය යොමු කළා.
පින්ලන්තයේ ඉගැන්වීම් ක්‍රමවේදය ඉතාම දියුණු මට්ටමක පවතින අතර මෙහිදී ප්‍රායෝගික අධ්‍යාපනය සඳහා වැඩි අවධානයක් යොමු කර තිබෙන බව දැකිය හැකිය. පින්ලන්තයේ වෘත්තීය අධ්‍යාපනය ලබාදෙන අධ්‍යාපන පීඨයන්හි නිරීක්ෂණ චාරිකාවකට එක්වීමට අපට අවස්ථාව ලැබුණා. ප්‍රායෝගිකත්වය මුල් කර ගනිමින් බොහෝ ඉගෙනුම් හා ඉගැන්වීම් ක්‍රමවේද සකස් කර තිබෙන ආකාරය අපට එහිදී දැක ගැනීමට හැකි වුණා.

දශක ගණනාවකින් අපේ අධ්‍යාපන ක්‍රමයේ දැවැන්ත වෙනස්කම් සිදුවී නැහැ. විශේෂයෙන්ම විෂය මාලා සංශෝධනය කිරීම, නව ලෝකයට ගැළපෙන ආකාරයේ අධ්‍යාපන ක්‍රමයක් ලබාදීමට අපට හැකි වී නැහැ. එම නිසා අප ආරම්භ කළ වසර 13ක අනිවාර්ය පාසල් අධ්‍යාපනය සහ හඳුන්වාදීමට නියමිත නව විෂයයන් 26 තුළින් ඉදිරියේදී අපේ අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ පෙරළියක් සිදු කිරීමට අප බලාපොරොත්තු වෙනවා.

ඒ වගේම අපේ අධ්‍යාපන ක්‍රමය නිරීක්ෂණය කර ඇති කළ යුතු වෙනස්කම් සම්බන්ධයෙන් අවශ්‍ය විශේෂඥ දැනුම ලබාදීම සඳහා පින්ලන්තයේ අධ්‍යාපන විශේෂඥයන් කණ්ඩායමකට අපේ රටට පැමිණෙන්නැයි ආරාධනය කළා.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon