අපි ඕනෑම පිච් එකක බැට් කරන්න ලෑස්තියි

  👤  3611 readers have read this article !
By mawbima 2017-10-13

ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී තම පක්ෂය වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට පළාත් පාලන ආයතන 200ක පමණ බලය ලබාගැනීමට හැකි වෙතැයි තමා විශ්වාස කරන බවත් තම පක්ෂයේ නාම යෝජනා පත්‍ර සැකසීම පිළිබඳව විස්තර 0112866010 යන දුරකතන අංකයට ඇමැතීමෙන් ලබා ගත හැකි බවත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක හා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් 25%ක තරුණ නියෝජනයක් ඉදිරිපත් කරන බවද ඒ මහතා පැවැසීය.
බැසිල් රාජපක්ෂ මහතා මේ බව පැවැසුවේ ඊයේ කොළඹදී පැවැති මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමිනි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මේ රටේ තිබෙන වයසෙන් අඩුම දේශපාලන පක්ෂයයි. නමුත් අපි ශක්තිමත්ව සංවිධාන කටයුතු කරගෙන යනවා. ඉදිරියේදී පවත්වනවා යැයි කියන පළාත් පාලන මැතිවරණය තමයි අපි මුහුණ දෙන පළමු පළාත් පාලන මැතිවරණය.

මේ ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍ර විරෝධී වැඩපිළිවෙළට එරෙහිව ජනතාවගේ මතය හැසිරෙන්නේ කොහොමද කියලා අපිට මේ මැතිවරණයේදී බලන්න පුළුවන්.
අපි සහෝදර දේශපාලන පක්ෂ ගණනාවක් සමඟ එකතුවෙලයි මේ මැතිවරණයට තරග කරන්නේ.
අපි ආරාධනා කරනවා අනෙක් දේශපාලන පක්ෂවලටත් අපිත් සමඟ එකතු වෙලා මේ ආණ්ඩුව ගෙනියන ප්‍රජාතන්ත්‍ර විරෝධී වැඩවලට එරෙහි වන්න කියලා.
මෙහිදී මාධ්‍ය නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදුන් බැසිල් රාජපක්ෂ මහතා

• කවුද ඔබතුමාලා සමඟ සන්ධානගත වන දේශපාලන පක්ෂ?
ඒකාබද්ධ වික්ෂය සමඟ කටයුතු කරන සියලු පක්ෂ අපත් සමඟ එකතු වී තරග කරනවා.
• ඔබතුමාලා මනාප ඡන්ද ක්‍රමය වෙනස් කරන්න හැදුවා කියලා කිව්වා. නමුත් ෆයිසර් මුස්තාපා ඔබතුමාට තමයි චෝදනා එල්ල කරන්නේ විශාල වශයෙන්?
එදා දිනේෂ් ගුණවර්ධන කමිටුව ගෙනාපු පනතට සියලු දේශපාලන පක්ෂ එකඟ වුණා.
දැන් ඒ පනතට විරුද්ධව කතා කරනවා. නටන්න බැරි අය පොළොව ඇදයි කියලා කියනවා. අපි ඕන පිච් එකක මේ වෙලාවේ බැට් කරනවා. පොල්පිත්තකින් වුණත් අපි බැට් කරනවා. අපි ඕන ක්‍රමයකට ඡන්දයට සූදානම්. අපි අඩු පාඩු කියන්නෙ නෑ.
• මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා පරාද වුණේ ඔබතුමා නිසා කියලයි රාජිත සේනාරත්න ඇමැතිවරයා පවසන්නේ. කුමක්ද මෙහි සත්‍යතාව?
මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා පරිණත නායකයෙක්. එතුමාට අපි උපදෙස් දෙන්න අවශ්‍ය නැහැ. අපි ගත්ත තීන්දුවලින් වැරැදුණු තීන්දුවල වගකීම අපි භාරගන්නවා.
• බැඳුම්කර වංචාව පිළිබඳව දැන් සියලු තොරතුරු හෙළිවෙලයි තිබෙන්නේ. තව එක පුද්ගලයෙක් විතරයි කොමිසම හමුවට එන්න තිබෙන්නේ. ඔබතුමා මොකක්ද ඒ ගැන හිතන්නේ?
මේ කොමිසම පත්කරලා තිබෙන්නේ මේ ආණ්ඩුවමයි. ස්වේච්ඡාවෙන් ඇවිල්ලයි එයට උත්තර දෙන්න ඕනේ.
• ඇතැම් මාධ්‍ය ඔබතුමාට දිගින් දිගටම ප්‍රහාර එල්ල කරනවා. ඇයි මේ?
දඩාවතේ යන බල්ලෙක් හැපුවාට අපි බල්ලාව හපන්න යන්නේ නැහැ. මම ඒවාට උත්තර දෙන්න යන්නේ නැහැ. මම ජනමාධ්‍යට ගරු කරනවා. අපි කාටවත් හිරිහැර කරන්නෙ නැහැ. අපේ ආණ්ඩුවක් යටතේ අපි කාගෙන්වත් පළිගන්නේ නැහැ. හැබැයි අපි වැරැදි කරපු අයට දඬුවම් දෙනවා. මේ ආණ්ඩුව දැන් කරන්නේ දේශපාලන දඩයමක්. එහෙම කළ යුතු නැහැ.

• ගෝඨාභය රාජපක්ෂ මහතා මේ මැතිවරණයට සම්බන්ධ වෙනවාද?
එතුමා ජාතික වශයෙන් දේශපාලනයට තාම පිවිසිලා නැහැ. නමුත් ජාතික වශයෙන් වැදගත් ප්‍රශ්නයකදී එතුමා ඒ සම්බන්ධයෙන් ඉදිරිපත් වෙයි. මේක ජනමත විමසුමකට සමාන කරලයි අපි තේරුම් අරන් තියෙන්නේ.
• පොහොට්ටුවට දිනන්න බැහැ කියලයි ඇතැමුන් පවසන්නේ?
පොහොට්ටුව කවදාවත් පරවෙන්නේ නැහැ. පොහොට්ටුව පිපුණොත් තමයි පරවෙන්නේ. අපේ ඡන්ද ලකුණ පොහොට්ටුවයි.

ක්‍රිෂාන් පතිරත් ජයසූරිය
ඡායා - අකිල ජයවර්ධන

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon