පළාත් පාලන මැතිවරණය ප්‍රමාද වෙනවා නම් එසේ වන්නේ දින දෙක තුනක් පමණයි

  👤  2575 readers have read this article !
By mawbima 2017-10-18

ලක්ෂ්මී ජයකොඩි

නුවරඑළිය හා අඹගමුව ප්‍රාදේශීය සභා ගණන වැඩි කිරීමේ කටයුත්තෙන් පළාත් පාලන මැතිවරණය ප්‍රමාද වෙනවා නම් එසේ ප්‍රමාද විය හැක්කේ අවම වශයෙන් දින දෙක තුනක් පමණක් බව ජාතික සහජීවනය සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ පෙරේදා (16දා) නුවරඑළියේදී පැවැත්වූ මාධ්‍ය හමුවකදීය.
එහිදී අමාත්‍යවරයා පෙන්වා දුන්නේ අනෙකුත් ප්‍රදේශවල ජනතාව විසිපන්දහසකට, පහළොස්දහසකට එක් ප්‍රාදේශීය සභාවක් තිබියදී ජනතාව 2,50,000ක් සිටින නුවරඑළිය සහ ජනතාව 2,15,000ක් සිටින අඹගමුව සඳහා ඇත්තේද එක් ප්‍රාදේශීය සභාවක් බැගින් බවයි.
ඒ අනුව පැහැදිලිව පෙනීයන එම අසාධාරණය නිවැරැදි කොට නුවරඑළිය හා අඹගමුව සඳහා ප්‍රාදේශීය සභා ගණන වැඩි කිරීමට විෂයභාර අමාත්‍ය ෆයිසර් මුස්තාෆා හා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පොරොන්දු වී ඇති බවද හෙතෙම කීය.

තමා ඉත්තකු බවට පත්කර ගනිමින් ආණ්ඩුව ඡන්දය කල් දමා ගැනීමට සූදානමක් ඇති බවට බැසිල් රාජපක්ෂ මහතා කර ඇති ප්‍රකාශය සාවද්‍ය බවත් නුවරඑළිය හා අඹගමුව සඳහා වැඩි කළ යුතු ප්‍රාදේශීය සභා ගණන හා ඒවා නම් කිරීම දැනටමත් සිදු කොට අවසන් බවත් ගනේෂන් මහතා කීය.
ඒ අනුව නව ප්‍රාදේශීය සභා නම් කළ වහාම පළාත් පාලන මැතිවරණය පැවැත්වීමේ හැකියාව ඇති බවද දින දෙක තුනක් ප්‍රමාද වුවද තම ඉල්ලීම් වෙනුවෙන් අවම වශයෙන් පළාත් පාලන මැතිවරණය කල් දැමීමට සිදුවන්නේ දින දෙක තුනක් පමණක් බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්