පළාත් පාලන ඇමැතිකම බාර ගන්නැයි ෆයිසර්-දිනේෂ්ගෙන් ඉල්ලයි

  👤  2622 readers have read this article !
By mawbima 2017-10-18

හම්බන්තොටදී සාමකාමීව අවිහිංසාවාදී මහජනතාව ඒකරාශී වූ අවස්ථාවකට සහභාගි වීම මත පොලිසියෙන් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රින් ගැනත් එම සිදුවීමේදී පොලිසියේ ක්‍රියා කලාපය ගැනත් ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම් නායක දිනේෂ් ගුණවර්ධන ස්ථාවර නියෝග 23 (2) යටතේ ප්‍රශ්න කිහිපයක් යොමු කළේ අගමැතිවරයාගෙන් උත්තර ලබා ගැනීමටයි. අගමැති රනිල් වික්‍රමසිංහ ඊයේ පාර්ලිමේන්තුවේ නොසිටියේය. අසනීප තත්ත්වයක් මත සභානායක
ලක්ෂ්මන් කිරිඇල්ලද සිටියේ නැත. ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක පැවසුවේ ඉදිරි පාර්ලිමේන්තු දිනයේදී අගමැතිවරයා සවිස්තර පිළිතුරක් දෙනු ඇති බවයි.
අත්අඩංගුවට ගත් මන්ත්‍රිවරු තුන්දෙනාගෙන් දෙදෙනකු ඇප මත නිදහස් කර තිබෙනවා. ප්‍රසන්න රණවීර මන්ත්‍රිතුමා තවම බන්ධනාගාරයේ සිටිනවා යැයිද
දිනේෂ් කීවේය.

දිනේෂ් ගුණවර්ධන 1953 පැවැති හර්තාලය ගැනත් සිහිකළේය. එම හර්තාලයේදී මහජනයා විරෝධතා පවත්වන ස්ථානවලට මන්ත්‍රිවරු ගියා. ඒ අය අත්අඩංගුවට ගත්තෙ නැහැ. මන්ත්‍රිවරුනට මහජනයා සමඟ කටයුතු කිරීමට ඇති අයිතිය මන්ත්‍රිවරුන්ගෙන් දැන් පැහැරගෙන තිබෙනවා" යැයිද දිනේෂ් කීය.
බන්දුල ගුණවර්ධන ද අදහස් දැක්වීමට නැඟී සිටියේය. "පාර්ලිමේන්තුවේ නීති හදන 'ලෝමේකර්ස්ලා' ටී මේකර්ස්ලාගේ තත්ත්වයට පත්කර අත්අඩංගුවට ගැනීමේ තත්ත්වය නැති කළ යුතුයි. මන්ත්‍රිවරුන් පොලිසිය විසින් අරන් ගිහින් කූඩුවට දානවා. මොන විලි ලැජ්ජාවක්ද ඔබතුමාට? බන්දුල ගුණවර්ධන ප්‍රශ්න කළේ පාර්ලිමේන්තුවේ නායක කතානායක කරු ජයසූරියගෙනි.
"89 දැවැන්ත භීෂණය තිබුණු කාලෙ, මහ පාරේ මිනී කඳන් ගොඩ ගහලා තිබුණු කාලෙවත් රන්ජන් විජේරත්න ඇමැතිවරයා කිසිම මන්ත්‍රිවරයෙක් අත්අඩංගුවට ගත්තෙ නැහැ. "බන්දුල මතක් කළේ 88 _ 89 භීෂණ සමය ගැනය.පොලිසිය ඔබතුමා දැනුවත් කිරීමට කටයුතු කර තිබුණාදැයි වාසුදේව නානායක්කාර නැවත ඇසුවේය.
"මා ඒ ගැන සොයා බැලුවා. අධිකරණ නියෝගයක් තිබීම ගැන මා දැනුවත් කළා." කතානායක පැවසුවේය.
"ප්‍රසන්න රණවීර මන්ත්‍රිතුමාට විරුද්ධව නියෝගයක් තිබුණේ නැහැ"
වාසු අවධාරණයෙන් කියන විට බන්දුල යමක් කියන්නට නැඟිට්ටේය.

"බන්දු.. බන්දු ඔහොම ඉන්න" වාසුදේව බන්දුල ගුණවර්ධනට කීවේය.
"බන්දු බන්දු කියලා මන්ත්‍රිතුමකුට කතා කරන්න බැහැ" ගයන්ත කරුණාතිලක ඇමැතිවරයා සභා රීති ගෙනහැර දැක්වීය.
"අධිකරණය පාර්ලිමේන්තුවට වඩා ඉහළ නැහැ. තියෙන්නෙ සමාන්තරව. අධිකරණයට වඩා පහළ තැනක නොවේ ඔබතුමා ඉන්නෙ. ඒ නිසා මේ ගැන හොයා බලා ඔබතුමා නියෝගයක් දෙන්න පොලිසියට. "වාසුදේව මන්ත්‍රිවරයා කතානායක අමතමින් කීවේ, පාර්ලිමේන්තුවේ කතානායකවරයාගේ තත්ත්වය ගැනයි.
"යාපනයේ විරෝධතාවක් තිබුණා. එතැනට උසාවි නියෝග දුන්නේ නැහැ. ජනාධිපතිතුමා එතැනට ගියා. උතුරට එක නීතියකුත් දකුණට එක නීතියකුත් තිබෙනවාද? දැනටම ෆෙඩරල් දීලා ඉවරද?" කුමාර වෙල්ගම ඇසුවේය.

අදහස් ප්‍රකාශ කිරීම තවත් දුරදිග ගියේ එ.ජා.ප. මන්ත්‍රි මුජිබර් රහමන් කතා කරන විටය. ඔහුගේ අදහස් ප්‍රකාශයට ඒකාබද්ධ විපක්ෂය නැඟී සිට විරෝධය දැක්වූහ. කියන කිසිවක් නොඇසෙන තරමට ඝෝෂාවක් ඇති විය.

දිනේෂ් ගුණවර්ධන ඉතා හොඳ උදාහරණයක් මතු කළේ දශක තුනක අතීතයක් මෙනෙහි කරමිනි.
1989 ජූලි 29 වැනිදා ඇඳිරි නීතිය පනවා තිබියදී විපක්ෂ නායක අනුර බණ්ඩාරනායක හා මන්ත්‍රිවරුන් වූ අපි පිටකොටුවේ
උද්ඝෝෂණයක් කළා. නමුත් ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා විසින් අපි අත්අඩංගුවට ගත්තෙ නැහැ.
"අද පොලිසියෙන් ඔබතුමා හයිජැක් කරලා" යැයි දිනේෂ් කතානායකවරයාට කීවේ ආවේගයෙනි.
"මහජන නියෝජිතයන්ට පමණක් නොව මහජනතාවටත් සාධාරණ උද්ඝෝෂණවල යෙදෙන්න අවස්ථාව අයිතිය තිබිය යුතුයි. ඒ අයිතිය නොතිබුණ යුගයක් වළ දාලා තමයි මේගොල්ලො බලයට පත් වුණේ. යළි තමුන්නාන්සේලාත් ඒ ඉතිහාසයම වර්ධනය වෙන්න කටයුතු කරනවා" අනුර කුමාර දිසානායක විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ආණ්ඩුවට තද පහරක් එල්ල කළේය.
අනුර කුමාර දිසානායක ස්ථාවර නියෝග 23(2) යටතේ සයිටම් අර්බුදය ගැන ප්‍රශ්නය යොමු කර තිබුණේ සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල ඇමතිවරයාටය. ඔහු උසස් අධ්‍යාපනය භාර ඇමැතිවරයාද වෙයි.

"ඇමැතිතුමා නම් නැහැ" අනුර කීවේය.
"එතුමා අසනීප වෙලා වෛද්‍ය උපදෙස් ලබා ගන්නවා" කතානායක පැවැසීය.
"උත්තර දෙන්න රාජ්‍ය ඇමැතිතුමා ඉන්නවා" ගයන්ත කරුණාතිලක කීවේය.
"ඊයේ එතුමා හොඳට මාධ්‍යවලට සයිටම් ගැන කීවා" අනුර කීවේ ලක්ෂ්මන් කිරිඇල්ල ගැනය. පිළිතුරු දෙන රාජ්‍ය ඇමැති මොහාන්ලාල් ගේ‍ර්රු පිළිබඳවත් අනුර කුමාර කියන්න අමතක කළේ නැත.

"එතුමා කාලෙකින් ඇවිත් තියෙන්නෙ. දන්නෙ නැහැ කවුද කියලා... දැන ගන්නත් එක්ක හොඳයි"
පළාත් සභා හා පළාත් පාලන ඇමැති ධුරය භාර ගන්නැයි ඒකාබද්ධයේ දිනේෂ් ගුණවර්ධනගෙන් ඉල්ලීමක් කළේය.
පාර්ලිමේන්තුවේ විදුලි සෝපානයක් අසලදී දෙදෙනා හමුවුණේ අහම්බෙනි. "ඔබතුමා පළාත් පාලන ස්ථාපන ගැසට් එක අස්සන් කරන්නකො" දිනේෂ් කීය.
"ඒක තවම අස්සන් කළේ නැහැ"

"මොකටද ප්‍රමාද කරන්නෙ. ඒක අස්සන් කරන්නකො"
දිනේෂ් එසේ කියන විට ෆයිසර් සිය දෑත් දිනේෂ්ගේ දෙවුර මත තැබුවේය. තවත් මොනවා හෝ කීවේය. දිනේෂ්ට හිනා ගියේය. "ඔබතුමා මේ ඇමැතිකම භාර ගන්නකො" ෆයිසර් මුස්තාපා දිනේෂ්ට කීවේ වටපිටද බලමිනි.
මහින්ද අමරවීර ඇමැතිවරයා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම්වරයාය. හම්බන්තොට උද්ඝෝෂණය ගැනත් මන්ත්‍රිවරුන් තිදෙනකු අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළේය.

සන්ධාන ලේකම්වරයා ඇප දීමට විරුද්ධව කටයුතු කළේ යැයි පාර්ලිමේන්තුවෙන් යවන ලද ලිපියක් පදනම් කරගෙන ප්‍රකාශ කළ අයට එරෙහිව නීති මඟින් කටයුතු කරන බවද ඔහු කීවේය. පාර්ලිමේන්තු මහලේකම් වෙනුවට පාර්ලිමේන්තුවේ සන්ධාන ප්‍රධානියා යවන ලද ලිපියක සන්ධාන යන පදය අල්ලාගෙන මේ ප්‍රශ්නය මතු කර ඇතැයි හෙතෙම වැඩිදුරටත් කියමින් පාර්ලිමේන්තුවේ සන්ධාන ප්‍රධානී යන තනතුරු නාමය වෙනස් කරන්නැයි මහලේකම්වරයාගෙන් ඉල්ලීමක්ද කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්