ආණ්ඩුව හොඳ වැඩක් කරන කොට විපක්‍ෂය බිල්ලෝ මවනවා

  👤  2601 readers have read this article !
By mawbima 2017-10-18

හැම හොඳ වැඩක් කරන විට බිල්ලෝ මැවීම විරුද්ධ පක්‍ෂයේ වැඩක් යැයි ඉඩම් අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසයි. අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ එජාප බද්දේගම ආසන බල මණ්ඩල රැස්වීම අමතමිනි.
අමාත්‍යවරයා මෙසේද පැවැසීය.

අමාරුම අවස්ථාවක අපේ ආණ්ඩුවෙන් රට භාර ගත්තා. කොච්චර අමාරුකම් තිබුණත් පළමු දින සියයේදීම ජනතාවට සහන දුන්නා. ගැබිනි මවුවරුන්ට පෝෂණ මලු දෙනු ලැබේ කියලා මහින්ද චින්තන පුස්තකයේ හැමදාම ලිව්වා. හැබැයි අද කටවුට් නෑ, බැනර් නෑ. ලංකාවෙම ගැබිනි මවුවරුන්ට රුපියල් විසිදහස වෙන් වෙලා පෝෂණ මලු දෙනවා. තේවලට රුපියල් අනූවක සහතික මිලක් දෙනවා කිව්වා.

ණය කන්දක්, දූෂණ කන්දක්, කුණු කන්දක් සියලු පව් එක්ක අපි මේ ආණ්ඩුව භාර ගත්තේ. අවුරුදු දෙකක් යනකම් අපි පිට්ටනිය හදා ගන්න ඕන. තමුන්නාන්සේලා දන්නවා ඇත්ත තත්ත්වය. ජාත්‍යන්තරය සලකපු හැටි දන්නවා. අල්ලපු ඉන්දියාවේ හොඳ හිතත් නැතිව තිබුණේ. ජිනීවා නූල් බෝලේ පැටලිලා තිබුණේ. මේ සියලු ගැටලු පළමු දෙවර්ෂයේදී නිරාකරණය කරගෙන ජාත්‍යන්තරයේ හොඳ හිත ඇති කරගෙන දැවැන්ත සංවර්ධනයක් සමඟ 2020 මැතිවරණයට මුහුණ දෙන්න ගරු අගමැතිතුමා සැලසුම් කර තියෙනවා.

තව පෝය දෙකකින් ගමේ ඡන්දය එනවා. අලුත් දේශපාලන සංස්කෘතියක් හදන්න රනිල් වික්‍රමසිංහ මැතිතුමා මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාත් සමඟ එකතු වුණා. එතැනදී අපි දැක්කේ සුපුරුදු රනිල් වික්‍රමසිංහ කලාව. මේ ඡන්දේ අඩුපාඩුකම් හදලා ජනතාව ඉල්ලපු විදියට මනාප පොරය ඉවත් කරලා කොට්ඨාසයට වග කියන නියෝජිතයෙක් දීලා, කාන්තා නියෝජනය වැඩි කරලා, හරි විදියට කොට්ඨාස නිර්ණය කරලා, ඡන්ද තියන්නේ. රනිල් වික්‍රමසිංහ මැතිතුමා එතුමාට ආවේණික වූ සුපුරුදු දේශපාලන කලාව අනුගමනය කළා. විරුද්ධ පක්‍ෂය සුපුරුදු ලෙස අවලාද නැඟුවා. ඡන්දයට බයයි කිව්වා. ඡන්දය කල් දදා යනවා කිව්වා. රනිල් වික්‍රමසිංහ මැතිතුමා හැමදාම තෝරා ගත්තේ ජනප්‍රිය මාතෘකාව නොවෙයි. එතුමා හැමදාමත් අනුගමනය කළේ ජනතාව සහ රට වෙනුවෙන් හරිදේ ක්‍රියාත්මක කිරීමයි. දැන් බලන්න අද එතුමා ඒ කියපු දේ ඉටු කරලා තියෙනවාද කියලා.
හැම හොඳ වැඩක් කරන විට බිල්ලෝ මැවීම විරුද්ධ පක්‍ෂයේ වැඩක්. හැමදේටම බිල්ලෝ මැව්වා. පළාත් පාලන ඡන්දය හරි විදියට කොට්ඨාස මට්ටමින් පවත්වන්න, කාන්තා නියෝජනය වැඩි කරන්න, මනාප හුටපටේ නැති කරලා, කොට්ඨාසයට වග කියන මන්ත්‍රිවරයෙක් පත්වෙන විදියට තියන්න සූදානම් වෙනකොට බිල්ලෝ මැව්වා. හම්බන්තොට ගොඩදාලා මුළු දකුණම ගොඩදාන්න අගමැතිතුමා නායකත්වය දෙනකොට ඒකාබද්ධ විපක්‍ෂය බිල්ලෝ මවනවා.

ව්‍යවස්ථාවත් කෙටුම්පත දකින්න ඉස්සෙල්ලා බිල්ලෝ මැව්වා. බෙන්තර ගඟෙන් මෙහා ඉන්න අපි මේවට කන්දෙනකොට ජනතාව කල්පනාවෙන් බුද්ධිමත්ව කටයුතු කළ යුතුයි. 1990 ගිලන් රථ සේවයටත් බිල්ලෝ මැව්වා. මේ ගිලන් රථ සේවය අපේ රටේ ජනතාවට නොමිලේ සේවය දෙනවා. අද ඒ එක බිල්ලෙක්වත් දකින්න ඉන්නවාද?
ඒ කාලේ විදුලි පුටුව ගැන කිය කියා පපුවට ගහ ගත්තා මතකයිනේ.

වත්මන් ජනාධිපතිතුමත් සමඟ ජාත්‍යන්තරයේ ගන්න පුළුවන් සහාය අරගෙන අද ලංකාව පාලනය කරන අගමැතිතුමාට පුළුවන් වුණා විදුලි පුටුව වගේ වචන අපේ දේශපාලන ශබ්දකෝෂයෙන් සදහටම ඉවත් කරන්න.

බද්දේගම - ඕ. කමලනාථ

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්