මම ආණ්ඩුවේ ඉත්තෙක් වෙලා නැහැ

  👤  2615 readers have read this article !
By mawbima 2017-10-18

ආණ්ඩුව තමාව ඉත්තෙක් කරගෙන පළාත් පාලන මැතිවරණය කල් දැමීමට කටයුතු කරන බවට බැසිල් රාජපක්ෂ කරන චෝදනා පදනම් විරහිත බවත් තමා ඇතුළු පිරිස හෝඩියේ සිටින බව බැසිල් රාජපක්ෂ සිතා සිටියද මේ වන විට ඇඩ්වාන්ස් ලෙවල්ද පසුකොට අවසන් බවත් ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍ය මනෝ ගනේෂන් පැවැසීය.
කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශයේදී පෙරේදා (16දා) දමිළ ප්‍රගතිශීලී සන්ධානය සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ, නුවරඑළිය දිස්ත්‍රික්කයේ ජනගහනය අධික බැවින් පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට පෙර එහි ප්‍රාදේශීය සභා සංඛ්‍යාව වැඩි කිරීමට ආණ්ඩුව කටයුතු කරන බවයි.

ආණ්ඩුව තමාව ඉත්තෙක් කරගෙන පළාත් පාලන මැතිවරණය කල් දමන බවට බැසිල් රාජපක්ෂ චෝදනා කළද පසුගිය ආණ්ඩුව සමයේදී ගෝඨාභය රාජපක්ෂ විසින් කරුණා අම්මාන්, මර්වින් සිල්වා වැනි පුද්ගලයන් ඉත්තන් ලෙස යොදා ගත් බවට ඔහු මෙහිදී චෝදනා කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

පළාත් පාලන ආයතන ඡන්දය අනිවාර්යයෙන් ජනවාරි මාසයේදී පැවැත්වෙනවා. මම නෙවෙයි ඒක කියන්නේ. මහින්ද දේශප්‍රිය මහතාගේ කාර්යභාරය මට කරන්න බැහැ. නමුත් මගේ දැනුමේ හැටියට මම වගකීමෙන් කියනවා මැතිවරණය ජනවාරි මාසේ අවසන් වීමට පෙර තියෙනවා.

මේ ඡන්ද කල්තැබීම සම්බන්ධව බැසිල්ට තිබෙන කනගාටුවට මට හිනායනවා. ඒකට හේතුව තමයි මෙච්චර කල් මැතිවරණ ප්‍රමාද වීමට හේතුව බැසිල් රාජපක්ෂ මහත්මයා තමයි. 2012දී පළාත් පාලන මැතිවරණ ඡන්දය පිළිබඳ පනත පාර්ලිමේන්තුවට ගෙනල්ලා ඒක පදනම් කරගෙන සීමා නිර්ණ කළේ එතුමා. එතුමා කළේ ගෙයක් තියෙනවා නම් ඒ ගෙදර කුස්සිය, නාන කාමරය, ඉස්තෝප්පුව එක එක කොට්ඨාසවලට වෙන් කරපු එක. ඒ වගේ තමන්ගේ පක්ෂයට ඕනි ඕනි විදියට තමයි සීමා නිර්ණය කළේ. පක්ෂයට ඕනි ඕනි විදියට ඔහු වැඩ කරලා අන්තිමේදී අමාරුවේ වැටුණේ මේ රටේ ජනතාව.
නුවරඑළිය දිස්ත්‍රික්කයේ තිබෙන ප්‍රාදේශීය සභාවල සංඛ්‍යාව වැඩි කරලා දෙන්නම් කියන පොරොන්දුව ෆයිසර් මුස්තාපා ඇමතිතුමා අපිට ලබා දීලා තියෙනවා. මොකද රටේ ලොකුම ප්‍රාදේශීය සභා තියෙන්නේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ හම්බේගමුව ප්‍රාදේශීය සභාවේ ජීවත් වෙන ජනගහනය දෙලක්ෂ විසිපන්දාහයි. නුවරඑළිය ප්‍රාදේශීය සභාවේ ජනගහනය දෙලක්ෂ පන්දාහයි.

ඒ නිසා ඒ අසාධාරණය නිවැරැදි කරලා සාධාරණත්වයක් ලබා දෙන ආණ්ඩුව තමයි මේ ආණ්ඩුව.
මේක රාජාණ්ඩුවක් නෙවෙයි. ඒ කාලෙ සමහරු මේක රාජාණ්ඩුවක් කරන්න උත්සාහ කළා. රජ පවුලක් හදලා රජ කුමාරයෙක් හදලා රැජනක් හදලා, රජ මාලිගාවක් හදලා කටයුතු කළේ. මේ රටේ සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජනතාව එකතු වෙලා ඒක වෙනස් කළා.
අපි කියන්නේ රටේ එක පැත්තක විසි පන්දාහක, පහළොස්දාහකට නගර සභා තියෙන කොට නුවරඑළියට පමණක් ලක්ෂ දෙකහමාරකට ප්‍රාදේශීය සභා ගේන එක වැරැදියි නේද කියලා.

අපි ඉල්ලන්නේ සාධාරණ ඉල්ලීමක්. උතුරු නැඟෙනහිර මොනවාද ඉල්ලන්නේ කියලා අපි අහනවා. උතුරු නැඟෙනහිර දෙමළ ජනතාවගේ පක්ෂවල අය කියන්නේ උතුරු නැඟෙනහිර ඒකාබද්ධ කරන්න කියලා. අපි කියන්නේ නැහැ ඒකාබද්ධ කරන්න කියලා.

පලනි දිගම්බරම් අමාත්‍යවරයා නුවරඑළියට පොලිස් බලතල ඉල්ලනවාද? ඉඩම් බලතල ඉල්ලනවාද නෑනේ. අපි ඉල්ලන්නේ ඉඩම් බලතල පොලිස් බලතල නෙවෙයි. අපි කියන්නේ තියෙන එක කඩලා සාධාරණත්වයක් ලබා දීලා ප්‍රජාතන්ත්‍රවාදය, ජනබලය තහවුරු කරන්න කියලා. ඒක වරදක්ද කියලා අපි අහනවා. ඒක වැරැදි විදියට දකින්නේ පොහොට්ටුවේ කට්ටිය විතරයි.

පොහොට්ටුවේ කට්ටිය ඡන්දය ඉල්ලන්නනේ නුවරඑළියේ ආවේ. අපි බලාගන්නම්. අපේ ජනතාව බලාගනී. ප්‍රජාතන්ත්‍රවාදී බලය සහිතවම බලාගනී.
උදයන්ති මුණසිංහ

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්