ආණ්ඩුවේ සිටින කුමන්ත්‍රණකරුවන් මෛත්‍රිව රනිල්ව නොමඟ යවලා

  👤  2623 readers have read this article !
By mawbima 2017-10-18

ආණ්ඩුව තුළ සිටින කුමන්ත්‍රණකරුවන් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා නොමඟ යැවීමට වැරැදි සංඛ්‍යා දත්ත විශාල ප්‍රමාණයක් ලබා දී තිබෙන බවත් එහි ප්‍රධාන වගඋත්තරකරු හිටපු මුදල් ඇමැතිවරයා බවත් පාර්ලිමේන්තු මන්ත්‍රි බන්දුල ගුණවර්ධන පවසයි.
වත්මන් ආණ්ඩුව ජාතියේ ණය ප්‍රමාණය ඉක්මවමින් ණය ගෙන ඇති බවට විගණකාධිපතිවරයා සිදු කරන ප්‍රකාශ සම්බන්ධයෙන් අගමැතිවරයා අදහස් දැක්විය යුතු බවද මන්ත්‍රිවරයා පැවැසීය.

ඒ මහතා මෙසේ පැවසුවේ පෙරේදා (16දා) පුංචි බොරැල්ල වජිරාශ්‍රමයේ පැවැති ඒකාබද්ධ විපක්ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකයේ මාධ්‍ය හමුවට එක් වෙමිනි.
එහිදී බන්දුල ගුණවර්ධන මහතා මෙසේද පැවැසීය.

මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ලබා ගත් ණය ගෙවා ගන්න බැරිව, මැතිවරණයක් කැඳවලා පැනලා ගියා කිව්වා. පසුගිය කාලයේ දිගින් දිගටම අගමැති රනිල් වික්‍රමසිංහ මහතා, හිටපු මුදල් ඇමැති රවි කරුණානායක මහතා, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කිව්වා මේ විශාල ණය කන්දට රට හිර කරපු නිසා ආර්ථිකයේ කිසියම් ප්‍රගතියක් ලබන්නට, බැරිවුණා කියලා සමාජගත කළා. සංඛ්‍යා දත්ත අනුව ඔප්පු කළ නොහැකි පිළිගත නොහැකි මේ දේශපාලන සටන් පාඨය දිගින් දිගටම කියමින් සිටිනවා.
2003 අංක 3 දරන මූල්‍ය කළමනාකරණ වගකීම් පනතෙන් කියන්නේ කිසියම් රජයක් හිතුවක්කාරී ලෙස ණය ගැනීම වැළැක්වීමට සියලු ණය පිළිබඳ තොරතුරු විටින් විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් ණය ගැනීමේ කළමනාකරණ ක්‍රියාවලිය වගකීමෙන් කළ යුතුයි කියලයි.
ඒ නීතිය ක්‍රියාත්මක කිරීමේ වගකීම පැවැරුණේ 2005 මහින්ද රාජපක්ෂ රජයටයි. මහින්ද රාජපක්ෂ රජය ඇරැඹූ දිනයේ සිට මේ පනත අනුව ක්‍රමයෙන් ණය කන්ද පහළට ගෙනාවා. එය නැවත උඩට නැග්ගේ 2009දී. ඒ රටේ තීරණාත්මක පැය ගෙවුණු යුද්ධයේ උච්චතම අවස්ථාව නිසා කෙටි කාලීන ණය ගන්න වුණා. පසුව 2010 සිට නැවතත් එය පහළට වැටිලා 2014 වන විට රාජ්‍ය ණය අනුපාතය 71.3 දක්වා අඩුවුණා. සියයට වඩා වැඩි අගයක තිබුණ රාජ්‍ය ණය අනුපාතය තමයි මේ විදියට නිසි කළමනාකරණයක් තුළින් අඩු අගයක් දක්වා ගෙන ආවේ.

මේ ආණ්ඩුව බලයට පත්වූ දා සිට අසාමාන්‍ය ලෙස ණය ගැනීම වර්ධනය වුණා. එහි ප්‍රතිඵලයක් ලෙස දැන් නැවත රාජ්‍ය ණය අනුපාතය 79ක් දක්වා ඉහළ ගිහින් තියෙනවා. රජයේ විගණකාධිපති කියලා තියෙනවා මූල්‍ය කළමනාකරණ පනතේ නියමයන් කඩ කරමින් ප්‍රථම වතාවට රජයේ බැරකම් 83.3% දක්වා ඉහළ ගිහින් තිබෙන බව. අපිට ණය ගන්න පුළුවන් උපරිමය 80%යි. 2009න් පස්සේ රාජ්‍ය ණය අනුපාතය නියමිතව පවත්වා ගෙන ගිහින් තියෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය කළමනාකරණ දෙපාර්තමේන්තුවේ ඉන්න විශේෂඥයන් විසින් රටේ ණය කන්ද කළමනාකරණය කළ යුතුයි. ඒක ව්‍යවස්ථාපිත වගකීමක්. ස්වාධීන ආයතනයක්. ඒ ආයතනයයි මෙවැනි දේ කියන්නේ.

2016දී ණය වාරික හා පොලිය ගෙවීම පිළිබඳ කිසිම ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්නය ඇතිවෙන්නේ 2025දී කියලයි අයවැය කතාවේදී පාර්ලිමේන්තුවට කිව්වේ. එහෙම නම් මේ ආණ්ඩුවට නෙවේ ණය කන්ද පිළිබඳව අර්බුදය එන්නේ. අලුතෙන් පත්වෙන ආණ්ඩුවටයි. වෙන විදියකට කියනවා මේ ණය කන්දට කර ගහන්නේ අපියි.
අගමැති දැනුවත්ව හෝ නොදැනුවත්ව විශාල කුමන්ත්‍රණයකට අහුවෙලා. දෙනියායේදී එතුමා රාජ්‍ය නිලධාරීන්ට විශාල ලෙස දෝෂාරෝපණය කළා. රජය දුන් මුදල් දීලා නැහැලු, මම මේක දන්නවා නම් හෙලිකොප්ටරයකින් ඒ මුදල් ටික ගෙනත් විසි කරනවාලු. එතුමා දන්නේ නැහැ මේ ආණ්ඩුව ඇතුළේ තියෙන කුමන්ත්‍රණ හරි බලවේග හරි අගමැතිවරයාටත්, ජනාධිපතිවරයාටත් වැරැදි දත්ත විශාල ප්‍රමාණයක් ලබාදී තියෙනවා. ඒ සඳහා ප්‍රධාන වග උත්තරකරු හිටපු මුදල් ඇමැතිවරයා.
ඒ මුදල් වියදම් කළා නම් මත්තල ගුවන් තොටුපොළවල් 30ක් නෙලුම් කුලුනුු 80ක් හදන්න තිබුණා. ඒ නිසයි ජනතාව අතේ මුදල් නැති වෙන්නේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී. ඇල්. පීරිස් මහතා,
ශලීල මුණසිංහ කියන්නේ විදේශිකයෙක්. ලාංකේය පුරවැසියෙක් නෙවේ.

මේ පුද්ගලයා ලංකාවේ බැංකු කොල්ලකාලා, මහ බැංකුව ශුද්ධ කරලා. පෞද්ගලික බැංකු ප්‍රශ්නවල. දැන් කොල්ලකන්නේ ජාත්‍යන්තර බැංකු, කවුද මේවා කරන්නේ. රජයේ සබඳකම් සහිත පුද්ගලයන්. සයිබර් ප්‍රහාරය අපේ රටේ වැදගත් තනතුරක් හොබවන පුද්ගලයෙක්.
මුළු රටම දළුවත්ත කියන්නේ පොලිස් නිලධාරියෙක් නෙවෙයි මැරයෙක් බව මුළු රටම දැක්කා. මාධ්‍යවේදියකුට කනට පහර දෙන අයුරු දැකපු අය හිරේ. පහර දීපු පුද්ගලයා නිදැල්ලේ.
ඉෂාරා සිල්වා
ඡයා රූපය : සරත් කුමාර

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්