බැඳුම්කර සිද්ධියට එරෙහිව නීතිපති ක්‍රියා නොකරන්නේ ඇයි?

  👤  2600 readers have read this article !
By mawbima 2017-10-18

බැඳුම්කර සිදුවීම සම්බන්ධයෙන් නීතිපතිවරයා ක්‍රියා නොකරන්නේ මන්දැයි ආණ්ඩුවෙන් තමන් ප්‍රශ්න කර සිටියද මේ වන තෙක් එයට නිවැරැදි පිළිතුරක් ලබා නොදුන් බව පාර්ලිමේන්තු මන්ත්‍රි වාසුදේව නානායක්කාර පවසයි.

බැඳුම්කර මගඩියට අගමැතිවරයාගේ සම්බන්ධයක් තිබෙනවා. මම මේ ගැන සඳහන් කර 2015 වසරේ 4 වැනි මාසයේ පොලිස්පතිට ලිපියක් යැව්වා. එතුමා ඒ පිළිබඳ පරීක්ෂා කරලා නීතිපතිට යොමු කළා. නමුත් එතැනින් එහාට කිසිම දෙයක් වුණේ නැහැ. මම මේ ගැන පාර්ලිමේන්තුවේදී කතා කළා. නිරෝෂන් පෙරේරා මන්ත්‍රිවරයා එයට උත්තර දුන්නා. නමුත් අගමැති මැද්දට පැනලා උත්තර දෙන එක නැවැත්තුවා. නීතිපති මේකට ක්‍රියා නොකරන්නේ ඇයි කියන මගේ ප්‍රශ්නයට උත්තර නැහැ. නානායක්කාර මහතා මේ බව සඳහන් කළේ ඊයේ බොරැල්ලේ පැවැති මාධ්‍ය හමුවකදීය.

සම සමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම් මහාචාර්ය තිස්ස විතාරණ මහතා අදහස් දක්වමින්.
ලබන 31 වැනිදා ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ රැස්වීමක් කැඳවලා තිබෙනව අගමැතිතුමා විසින්. එතුමා ක්‍රියාකරන ආකාරය අනුව පෙනීයනවා. මේ වැඩේ සාර්ථක නැහැ කියලා. අපේ අදහස් මෙයට ඇතුළු වෙලා නැහැ. අවුරුදු 3ක් පමා වෙලත් මේ වැඩේ එතුමාට හරියට කරගන්න බැරි වුණා. අගමැතිතුමා ඉදිරිපත් කරන අදහස්වලට වඩා පරස්පර අදහස් ආණ්ඩුව ඇතුළේ ඉන්න ශ්‍රී ලනිප සාමාජිකයන් ඉදිරිපත් කරනවා. ඒකෙන්ම පේනවා ආණ්ඩුව අභ්‍යන්තරයේ මේකට එකඟතාවක් නැහැ කියලා.

1972 වසරේ කොල්වින් ආර්. ද සිල්වා සහෝදරයා ව්‍යවස්ථාව අලුතෙන්ම සම්පාදනය කරලා අවුරුදු දෙකක් ඇතුළත පාර්ලිමේන්තුවට දාලා සම්මත කරගත්තා. මේ ආණ්ඩුවට දැන් අවුරුදු 03ක් ගිහිල්ලත් ව්‍යවස්ථා සංශෝධනය අවුල් සහගත තත්ත්වයක තිබෙන්නේ. ව්‍යවස්ථා සංශෝධන මණ්ඩලය භේදභින්න වීම පුදුමයක් නෙවෙයි. මේ ළඟදී ලංකාවට ආවා ෆීල්ඩ් කියලා බි්‍රතාන්‍ය ඇමැතිවරයෙක්. සම්පන්දන් මහත්මයා එතුමාට ගිහින් කියනවා අපේ රටේ උතුර හා නැඟෙනහිර සම්බන්ධ කරන්න සහාය දෙන්න කියලා. අපේ ප්‍රශ්න ඇයි පිටරටක ඇමැති කෙනකුගෙන් අහන්නේ. මේවා ගැන ව්‍යවස්ථා මෙහෙයුම් කොමිටිය සාකච්ඡා කරලා නැහැ.

ව්‍යවස්ථා සංශෝධනය හරිම ගැටලු සහගතයි. මම දන්නවා එහි තිබෙන අපහසුතා. ඒත් ඇයි මේවා මේ තරම් ළාමක විදියට කරන්නේ. ව්‍යවස්ථා සංශෝධන අතුරු කෙටුම්පත කියලා දැන් හදලා තියෙන්නේ මැල්ලුමක්. මේ මැල්ලුම පාර්ලිමේන්තුවට දැම්මාම තවත් අවුල් වෙනවා. මේක බැරෑරුම් ප්‍රශ්නයක්. ව්‍යවස්ථා සංශෝධනය හරියට නොකළොත් අපේ අනාගත පරම්පරාවටයි අහිතකර විදියට බලපාන්නේ. අගමැතිතුමාට අගමැතිකම හරියට කරන්න බැරිනම් කරන්න පුළුවන් කෙනකුට භාර දීලා අස්වෙලා යන්න ඕනි. සමාජවාදී ජනතා පෙරමුණ විදියට අපි මේ ක්‍රියාදාමයට විරුද්ධයි.

රාජා කොල්ලුරේ අදහස් දක්වමින්
ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය ඉදිරිපත් කර තිබෙන අතුරු වාර්තාව අවුල් සහගතයි. එහි ඒකීය ලංකාවක් කියන කාරණය අවුල් සහගතයි. සිංහලෙන් එකක් කියනවා. දෙමළෙන් තව එකක් කියනවා. ඉංග්‍රීසියෙන් තව එකක් කියනවා. 31 වැනිදා විවාදයට ගන්නා මෙම වාර්තාව අවුල් සහගතයි. ව්‍යවස්ථා සංශෝධනයේදී විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම, ජාතික ප්‍රශ්න විසඳීමට ක්‍රියාකිරීම හා මැතිවරණ ක්‍රමය ප්‍රතිසංස්කරණය කියන ප්‍රධාන කාරණා 3 වෙනුවෙන් අපි පෙනී සිටිනවා.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්