දිවුලපිටිය අපරාධ අංශයේ ඕ.අයි.සී.ට එරෙහි නඩුවේ ඉදිරි විමර්ශන සී.අයි.ඩීය බාරගනී

  👤  2594 readers have read this article !
By mawbima 2017-10-18

මීගමුව - නිමන්ති ප්‍රනාන්දු

දිවුලපිටිය පොලිසිය මඟින් අත්අඩංගුවට ගත් සැකකරුවකු මීගමුව බන්ධනාගාරයේ රඳවා සිටියදී මියයෑම සම්බන්ධව පොලිසියෙන් කරන ලද විමර්ශනවලින් අනතුරුව ඒ සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි දිවුලපිටිය අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් පනවා ඇති නඩුව ඊයේ (17දා) මීගමුව ප්‍රධාන මහෙස්ත්‍රාත් රුචිර වැලිවත්ත මහතා ඉදිරියේ යළි කැඳවූ අවස්ථාවේ පොලිස්පතිවරයාගේ ඉල්ලීම අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශන කටයුතු භාර ගනු ලැබීය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරි බී. එස්. තිසේරා මහතා අධිකරණයට පවසා සිටියේ පොලිස්පතිවරයා මෙම නඩුව විශේෂිත සිද්ධියක් ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරගෙන විමර්ශනයක් කරන ලෙස දන්වා ඇති බවයි.

ඒ අනුව සිද්ධිය සම්බන්ධව දැනට විමර්ශනයක් සිදුකර ඇති බවත් ඉදිරි විමර්ශන කටයුතු හඳුනාගැනීමේ පෙරට්ටුවකින් හා මරණ පරීක්ෂණයෙන් පසු ආරම්භ කරන බවය. එබැවින් පෙරට්ටුවට සහ මරණ පරීක්ෂණය සඳහා ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා 26 දිනට දින නියම කරන ලදී.

සැකකාර පොලිස් ස්ථානාධිපතිවරයා වෙනුවෙන් පෙනී සිටින ජේ‍යෂ්ඨ නීතිඥ දන්ත නිරංජන මහතා පැවැසුවේ මෙම සැකකාර පොලිස් පරීක්ෂකවරයා දිවුලපිටිය පොලිසියේ ප්‍රජා පොලිස් සේවයේ කලක් යෙදී සිටි බැවින් එම නිලධාරියාව කවුරුත් දන්නා හඳුනන බවයි. එබැවින් හඳුනා ගැනීමේ පෙරට්ටුවක් පැවැත්වීම අවශ්‍ය නොවන බවයි. එසේම මියගිය අයට පහර දුන්නේ කවුද? පහර දුන්නේ කොහෙදීද? යන්න පිළිබදව කිසිදු විමර්ශනයකින් දැන ගැනීමට ලැබී නැතැයිද ජේ‍යෂ්ඨ නීතිඥයා අධිකරණයේ අවධානයට ලක් කළේය.
මෙම සිද්ධියෙන් මියගොස් ඇත්තේ මීගමුව බන්ධනාගාරයේ රඳවා සිටි හුණුමුල්ල කැලෑපිටිමුල්ල ලිපිනයේ පදිංචිව සිටි 50 හැවිරිදි නයිවලඅප්පු හාමිලාගේ ගාමිණී එඩ්වඩ් අප්පුහාමි නමැති දෙදරු පියෙකි.

මෙම තැනැත්තා සොරකමක් සම්බන්ධයෙන් චෝදනාවට දිවුලපිටිය පොලිසිය අත්අඩංගුවට ගෙන මිනුවන්ගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉකුත්දා (3දා) ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කර සිටියදී රෝගාතුර වී මීගමුව රෝහලට ඇතුළත් කර සිටියදී පසුගියදා (5දා) රාත්‍රි 7ට පමණ මියගිය බව බන්ධනාගාර නිලධාරීන් විසින් මීගමුව පොලිසියට දන්වා තිබිණි.

මීගමුව මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක උදයකුමාර වූඩ්ලර් විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක සම්පත් දිසානායක යන නිලධාරීන් පැමිණිල්ල මෙහෙය වූ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් සහකාර පොලිස් අධිකාරි බී. එස්. තිසේරා සහ මිනීමැරුම් විමර්ශන ඒකකයේ පොලිස් පරීක්ෂක රංජිත් මුණසිංහ යන නිලධාරීහු පෙනී සිටියහ. සැකකාර පොලිස් පරීක්ෂකවරයා වෙනුවෙන් චාමර ජයසිංහ, ශ්‍රී ලාංචන ප්‍රනාන්දු, ඩිලාන් එන්. ද සිල්වා යන නීතිඥ මහත්වරුන් සමඟ ජේ‍යෂ්ඨ නීතිඥ දන්ත නිරංජන මහතා පෙනී සිටියේය.

සැකකාර පොලිස් ස්ථානාධිපතිවරයා 26දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසද මහෙස්ත්‍රාත්වරයා නියෝග කරනු ලැබීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්