පියා සමඟ එක්වී පිහියෙන් ඇන තරුණයකු මැරූ පුතාට මරණ දඬුවම

  👤  2569 readers have read this article !
By mawbima 2017-10-18

අනුරාධපුර - මහේෂ් විජේසූරිය / අනුරාධපුර ආනන්ද කරුණාදාස

නිදහස් දිනයේ මත්පැන් සාජ්ජයක් අතරතුර ඇතිවූ බහින්බස්වීමක් දුරදිග ගොස් පියා සමඟ එක්වී කම්කරු තරුණයකුට පිහියෙන් ඇන බාල්කයක එල්ලා අමානුෂික වධ බන්ධනයන්ට ලක්කර ඝාතනය කර එම සිරුර බිලීබෑව වැවට විසි කළ පුද්ගලයකු එකී චෝදනාවට වරදකරු බවට නිගමනය කළ උතුරුමැද පළාත් බද මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ඊයේ (17දා) ඔහුට මරණ දඬුවම නියම කළේය.

මරණ දඬුවම නියම වූයේ උළුවිටකේ ගාල්ල ලිපිනයේ පදිංචි 42 හැවිරිදි කදහ පොල්හේන කම්කානම්ලාගේ චමින්ද ප්‍රදීප් කුමාර යන විත්තිකරුටය. මිනීමැරුම් චෝදනාවට විත්තිකරුගේ පියා අනුරාධපුර මහාධිකරණය හමුවේ අධිචෝදනා ලැබීමෙන් අනතුරුව කෘෂි රසායන පානයකර සිය දිවි හානි කරගෙන තිබිණි.
අධිකරණ වෛද්‍ය සාක්ෂි, පර්යේෂණ සාක්ෂි හා පුද්ගල සාක්ෂි පදනම් කර ගනිමින් නඩු තීන්දුව ප්‍රකාශයට පත් කෙරිණි.

මරණ දඬුවම නියමවූ විත්තිකරු ඔහුගේ පියා සමඟ එක්වී වර්ෂ 2012 පෙබරවාරි 4 දින (නිදහස් දින) දින හෝ ඊට ආසන්න දිනයකදී නොච්චියාගම පොලිස් වසමේ ඔත්තප්පුව ගාලදිවුල්වැව පදිංචිව සිටි 23 හැවිරිදි උඩගෙදර නාරද සිසුර රත්නකුමාර යන තරුණයාට පිහියකින් පහරදී පසුව වයරයක ආධාරයෙන් බාල්කයේ එල්ලා අමානුෂික වධ හිංසා පමුණුවා ඝාතනය කර සිරුර ඔත්තප්පුව බිලීබෑව වැවට විසිකර ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 32 වැනි උප වගන්තිය සමඟ කියැවෙන 296 වන වගන්තිය යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් සිදු කර ඇති බවට නීතිපතිවරයා අනුරාධපුර මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර තිබිණි.

ඝාතනය සිදුකිරීමෙන් අනතුරුව නඩුවේ සාක්ෂිකරුවකුගෙන් මළ සිරුර වැසිකිළිවළට දැමීමට උදවු ඉල්ලා ඇති බවත් ඉන් බියට පත්වූ ඔහු ඝාතන පිළිබඳ සිවිල් ආරක්ෂක කමිටු සාමාජිකයකුට කළ දැන්වීම මත ඝාතනයේ සියලුම රහස් හෙළිකර ගැනීමට නොච්චියාගම පොලිසියට හැකිවූ බවත් මූලික නඩු විභාගයෙන් අනාවරණය විය.
විත්තිකරු වෙනුවෙන් රජයෙන් පත්කළ නීතිඥ කාලිංග රවීන්ද්‍ර මහතා පෙනී සිටි අතර පැමිණිල්ල වෙනුවෙන් රජයේ අධි නීතිඥ රවීන්ද්‍ර ජයරත්න සමඟ නොච්චියාගම පොලිසියේ කොස්තාපල් කඹුරාවල (35069) මහත්වරු අධිකරණය හමුවේ පෙනී සිටියහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්