ඩුබායිහිදී වූ දේම අබුඩාබියේදීත් වෙයි

  👤  2583 readers have read this article !
By mawbima 2017-10-18

ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර 150 වැනි එක් දින තරගය ලෙස පෙරේදා (16දා) අබුඩාබි හිදී 2 වැනි එක්දින තරගයේදීද ශ්‍රී ලංකාව ලකුණු 32කින් පරාජයට පත්වූයේ මෙම අබුඩාබි ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකා පිලක් එක්දින තරගයකදී ලැබූ අඩුම ලකුණු සංඛ්‍යවට දැවී යෑමෙනි.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් පාකිස්තානු කණ්ඩායම පන්දුවාර 50ක් අවසානයේ කඩුලු 9කට ලකුණු 219ක් ලබා ගත්තද ශ්‍රී ලංකාව පන්දුවාර 48කදී ලකුණු 187කදී දැවී ගිය නිසා පළමු ඩුබායි තරගයේදී මෙන්ම මෙහිදීද පරාජය වූයේ නොකඩවා ලැබූ 9 වැනි එක්දින පරාජයද වාර්තා කරමිනි.

පිළිතුරු දීමට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ආරම්භක පිතිකරු මෙන්ම නායක උපුල් තරංග ඉනිමේ අවසන් කඩුල්ල දැවී යන තෙක් රැඳී සිටිමින් නොදැවී ලකුණු 112ක් ලබාගත් නමුත් තරංගට අමතරව ශ්‍රී ලංකා පිතිකරුවන් අතුරින් යම් තරමකින් හෝ සාර්ථක වූයේ ජෙෆ්රි වැන්ඩර්සේ (22) පමණි. වෙනත් කිසිදු ශ්‍රී ලාංකික පිතිකරුවකුට ලකුණු 13 සීමාවටවත් පිවිසීමට පාකිස්තානු පන්දු යවන්නෝ ඉඩ ලබා දුන්නේ නැත. ශ්‍රී ලංකා ඉනිමේ කඩුලු 7ක් ලකුණු 93කට දැවී ගොස් තිබියදී අටවැනි කඩුල්ල වෙනුවෙන් තරංගට එක්වූ වැන්ඩර්සේ ලකුණු 76ක සබඳතාව නිසාම යම් තරමක හෝ ගෞරවනීය පිළිතුරක් ලබාදීමට හැකිවිය.

කෙසේ වෙතත් කඩුලු 6ක් ලකුණු 101කට දැවී ගොස් තිබුණද බාබර් අසාම්ට එකතු වූ ෂාදබ් ඛාන් ඔහුගේ එක්දින දිවියේ මංගල අර්ධ ශතකයද ලබාගනිමින් හත්වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැඟූ ලකුණු 109ක සබඳතාවත් නිසාම පාකිස්තානයට සටනක් දීමට හැකි ලකුණු ප්‍රමාණයක් කරා යෑමට හැකි වූ අතර, ඉන් නොනැවතුණු ෂාදබ් ඛාන් ශ්‍රී ලංකා ඉනිමේ කඩුලු 3ක් බිඳ දැමීම හේතුවෙන් තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබීය. පාකිස්තානු ඉනිමේ ගැලවුම්කාරයා බවට පත්වූ බාබර් අසාම් පන්දු 133කදී ලකුණු 101ක් ලැබූ අතර, එය ඔහු මෙම තරගාවලියේදී ලැබූ දෙවැනි ශතකයද විය.

ලකුණු සාරාංශය
පාකිස්තානය (පන්දුවාර 50කදී කඩුලු 9කට) 219 (බාබර් අසාම් 101, ෂාදබ් ඛාන් නොදැවී 52, ගමගේ 4/57, තිසර පෙරේරා 2/34)
ශ්‍රී ලංකාව (පන්දුවාර 48කදී සියලු දෙනා දැවී) 220 (උපුල් තරංග නොදැවී 112, ජෙෆ්රි වැන්ඩර්සේ 22, ළහිරු තිරිමාන්න 12, කුසල් මෙනඩිස් 10, ෂාදබ් ඛාන් 9-1-47-3)

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්