උතුර _ නැඟෙනහිර ස්ථිරවම ඒකාබද්ධ කළ යුතුයි

  👤  2355 readers have read this article !
By mawbima 2017-10-19

ආරියරත්න ගනේගොඩ

උතුරු නැඟෙනහිර ඒකාබද්ධ කිරීම ස්ථිර වශයෙන් සිදුකළ යුත්තක්. තම පක්ෂය වන දෙමළ එක්සත් නිදහස් පෙරමුණේ මූලික ප්‍රතිපත්තියත් එයයි. උතුරු නැඟෙනහිර දෙපළාත ඒකාබද්ධ කරන්නැයි තමන්ද බල කරන්නේ යැයි මඩකළපුව කල්ලඩි ප්‍රදේශයේ පැවැති ජන හමුවකදී හිටපු නියෝජ්‍ය ඇමැතිවරයකු වන දෙමළ එක්සත් නිදහස් පෙරමුණේ නායක විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් මහතා පැවැසීය.
වැඩිදුරටත් කතා කළ කරුණා අම්මාන් මහතා මෙසේද කීය.

දෙමළ ජනතාවගේ විමුක්තිය වෙනුවෙන් තමා සිය තනතුරු අත්හැර දමා නැඟෙනහිර පළාතට පැමිණ නව දේශපාලන පක්ෂයක් ආරම්භ කොට එය දෙමළ එක්සත් නිදහස් පෙරමුණ වශයෙන් නම් කෙරුවා. නව පක්ෂයේ ප්‍රධාන ඉල්ලීම වශයෙන් උතුරු නැඟෙනහිර ඒකාබද්ධ කරන ලෙස හඬ නඟා ප්‍රකාශ කරනවා.

එමෙන්ම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි ජෝශප් පරරාජසිංහම් ඝාතනය සම්බන්ධයෙන් සැකපිට නැඟෙනහිර පළාතේ හිටපු ප්‍රධාන ඇමැතිවරයකු වන සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් දීර්ඝ කාලයක් තිස්සේ සිරභාරයේ සිටින බවත් එහි කුමක් හෝ දේශපාලන පසුබිමක් ඇති බවට තමන් සැක කරන බවත් විනයාගමූර්ති මුරලිදරන් මහතා පෙන්වා දුන්නේය.

ඒ සම්බන්ධයෙන් තමන් දීර්ඝ විස්තරයක් කිරීමට අකැමැති වන්නේ ඒ පිළිබඳව දැනට අධිකරණ විභාගයක් පැවැත්වෙන නිසා බවත් ශ්‍රී ලංකාවේ පවතින වත්මන් නීතිය අනුව මිනිස් ඝාතනයකට සම්බන්ධව සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයකුට මාස හයකට පසු ඇප ලබාදිය හැකි බවද ඔහු පැවැසීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්