ප්‍රකෝටි ගණනක් වැය කරන අධ්‍යාපන වැඩසටහන් ඇගයීමට පර්යේෂණ නිලධාරීන් නැහැ

  👤  2269 readers have read this article !
By mawbima 2017-10-19

දයා පෙරේරා

හතළිස් පන් ලක්ෂයකට ආසන්න දරුවන් සඳහා රුපියල් කෝටි ප්‍රකෝටි ගණන් වැය කොට ක්‍රියාවට නඟන වැඩසටහන් ගැන ඇගැයීම් කටයුතු සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ පර්යේෂණ ඒකකයේ පර්යේෂණ නිලධාරීන් කිසිවකු නැත.
අධ්‍යාපන ක්ෂේත්‍රයේ වැඩසටහන් ගැන පූර්ව හා පසු ඇගැයීම් සඳහා පර්යේෂණ අංශයෙන් සමාජ විද්‍යාත්මක පර්යේෂණ සිදුකිරීම සඳහා පසු හෝ පූර්ව ඇගයීම් ක්‍රියාදාමයක් නැති බව අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් ඉකුත්දා අමාත්‍යාංශයේ මාණ්ඩලික නිලධාරී රැස්වීමේදී දැනගෙන තිබේ.
පර්යේෂණ අංශයේ දැනට සිටින්නේ සහකාර අධ්‍යක්ෂවරයකු, සංවර්ධන නිලධාරියකු සහ කාර්යාල කාර්ය සහායක යන තිදෙනා පමණක් බවත් පර්යේෂණ නිලධාරීන් කිසිවකු හෝ නැති බවත් එහිදී අනාවරණය වී ඇත.

අධ්‍යාපන පද්ධතියේ ක්‍රියාත්මක වැඩසටහන්වල සමාජ බලපෑම් දැනගැනීමටත් අඩුපාඩු, දුර්වලතා මෙන්ම ජනතා ප්‍රතිචාර දැනගැනීමටත් පර්යේෂණ අංශයකින් විශාල සේවයක් ඉටුවිය යුතු නමුත් පසුගිය කාල වකවානුවලදී අමාත්‍යාංශයේ සිටි බලධාරීන් ඒ ගැන අවධානය යොමු නොකිරීම ගැන ඇමැතිවරයා කනස්සල්ල පළ කර ඇත.
අධ්‍යාපන ක්ෂේත්‍රයේ තීරණ ගැනීමට මෙන්ම එමඟින් සමාජයට ඇති කරන බලපෑම් ගැන නිසි ඇගයීමක් ලබා ගැනීම සඳහා අධ්‍යාපනඥයන් මෙන්ම සමාජ විද්‍යාඥයන්ගේ සහායද ලබාගත යුතු බවත් ඒ සඳහා පවතින යාන්ත්‍රණය ශක්තිමත් කළ යුතු බවත් ඇමැති අකිල විරාජ් කාරියවසම් පෙන්වා දී ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්