පණ අදිමින් සිටි රජය නම් රෝගියාව මරණයෙන් බේරා ගත්තේ අපේ ආණ්ඩුවයි

  👤  2291 readers have read this article !
By mawbima 2017-10-19

සජිත් ප්‍රේමදාස ඇමැතිතුමා, සිය පියාණන් වන දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා එදා හෙබවූ අමාත්‍යාංශය භාර ගනිමින් පියාණන් ආරම්භ කළ නිවාස ලබා දීමේ වැඩසටහන නැවත රට පුරා ක්‍රියාත්මක කරමින් සිටිනවා. එතුමා මේ වන විට නිවාස ව්‍යාපෘති 470ක් ආරම්භ කර තිබෙනවා. එතුමා ඔබට අවශ්‍ය නිවාස ලබා දෙනවා, නිවාස ඉදිකර ගැනීම සඳහා අවශ්‍ය ණය මුදල් ලබා දෙනවා, ඊට අවශ්‍ය ඉඩම් ලබා දෙනවා. ඒ වගේම ඒ සඳහා අවශ්‍ය අනෙකුත් පහසුකම් ලබා දෙනවා. අපේ ආණ්ඩුවේ ආධාර ක්‍රම යටතේ නිවාස ලක්ෂ 02කට අධික ප්‍රමාණයක වැඩකටයුතු පසුගිය වසර දෙක තුළ ආරම්භ කිරීමට එතුමාට හැකි වී තිබෙනවා. මෙවැනි විශාල වැඩසටහන් ආරම්භ කිරීමට එතුමාට හැකියාව ලැබුණේ කෙසේද? ඒ ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැඟීමට අපේ ආණ්ඩුව ගත් පියවර නිසයි.'

අගමැති රනිල් වික්‍රමසිංහ මේ අදහස පළ කෙළේ නාත්තණ්ඩිය මාහිංගල ඉදිවූ 'අශෝකපුර' නිවාස ව්‍යාපෘතිය විවෘත කිරීමේ උත්සවය අමතමිනි.
අගමැතිවරයා එහිදී මෙසේද කීය.

2015 වසරේ ජනාධිපතිවරණය පැවැත්වූයේ එවකට පැවැති ආණ්ඩුවට රටේ ණය බර දරා ගැනීමට නොහැකි වූ නිසයි. රටේ ආදායම ණය පියවීමටවත් ප්‍රමාණවත් වූයේ නැහැ. එපමණක් නොවෙයි, 2018 _ 2019 කාලය වන විට නැවත ගෙවීමට විශාල ණය ප්‍රමාණයක් ඉතිරිව තිබුණා. එය ගෙවා ගැනීමට නොහැකි තත්ත්වයකට එදා රට පත්ව තිබුණා. එම නිසා කඩිනමින් මැතිවරණයකට යෑමට ඔවුන් එදා තීරණය කළා. නමුත් රටේ ආර්ථිකය ඒ වන විටත් කඩා වැටී තිබුණා.

ඉන්ධන මිල වැඩි කරමින් සහ අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍යවලට විශාල ලෙස බදු පනවමින් අවශ්‍ය මුදල් සොයා ගැනීමට එදා ආණ්ඩුව උත්සාහ කළා. නමුත් ඉන්ධන වැනි භාණ්ඩවල මිල ලෝක වෙළෙඳපොළේ ඉහළ යන විට ඊට සාපේක්‍ෂව අපේ වෙළෙඳපොළේ මිල වැඩි කිරීමත්, ලෝක වෙළෙඳපොළේ මිල පහළ යන විට ඊට සාපේක්‍ෂව අපේ වෙළෙඳපොළේ මිල අඩු කිරීමටත් අප ආණ්ඩුවේ ප්‍රතිපත්තියයි. නමුත් ලෝක වෙළෙඳපොළේ මිල වැඩි වුණත්, මිල අඩු වුණත් අපේ වෙළෙඳපොළේ මිල ඉහළ දැමීම එදා පැවැති ආණ්ඩුවේ ප්‍රතිපත්තිය වුණා.

රටේ එවැනි තත්ත්වයක් ඇතිව තිබූ අවස්ථාවක මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා පොදු අපේක්‍ෂකයා ලෙස ඉදිරිපත් වෙමින් ජනාධිපතිවරණය ජයග්‍රහණය කර රටේ ජනාධිපතිවරයා ලෙස පත් වුණා. අනතුරුව අග්‍රාමාත්‍යවරයා ලෙස මා වැඩ භාරගනිමින් අපේ ආණ්ඩුවක් පිහිටුවා ගත්තා. ඉන් පසුව රටේ ආර්ථිකය පිළිබඳව සාකච්ඡා කිරීමට අප ආර්ථික විශේෂඥයන් කිහිප දෙනෙක් කැඳවූවා. ඔවුන් අතරින් එක් අයකු මට පැවසූයේ, මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමාත්, ඔබතුමාත් මේ භාර ගෙන තිබෙන්නේ පණ අදින ලෙඩකු බවයි. එහිදී මා පැවසුයේ එම පණ අදිමින් සිටින ලෙඩා මිය යෑමට නොදී කෙසේ හෝ අප බේරා ගන්නා බවයි. ඒ අනුව අපි මේ අභියෝගය භාර ගත්තා. මේ ආණ්ඩුව නිර්මාණය කළේ එම අභියෝගයට මුහුණදීමටයි. එම අභියෝගයට මුහුණ දෙමින් දැන් අප සාර්ථකව ඉදිරියට යමින් සිටිනවා.

ඇත්ත වශයෙන්ම 2015 ජනාධිපතිවරණයෙන් පසු ආණ්ඩු බලය ලබා ගැනීමෙන් අනතුරුව ඉදිරි මාස 03 තුළ රට කරවීමටවත් අවශ්‍ය තරම් මුදල් නොතිබූ බව මම මෙහිදී ප්‍රකාශ කරන්න කැමැතියි. අපේ අය - වැය හරහා වැටුප් වැඩි කරමින් ජනතාවට විශාල සහන රැසක් ලබා දුන්නා. ඒ අනුව අපේ වියදම් ඉහළ ගියා. නමුත් අප එක් දෙයක් තීරණය කළා. එනම් කඩා වැටී තිබූ රටේ ආර්ථිකය ගොඩගනිමින් මේ රට සාර්ථකව ඉදිරියට ගෙන යන බවයි.

පැවැති ආකාරයටම අපත්, රට ඉදිරියට ගෙන ගියා නම් ලබාගෙන තිබූ ණය ඉදිරි පරම්පරා දෙකකටවත් ගෙවා අවසන් කර ගැනීමට නොහැකි වනවා. රටේ ණය අපේ පරම්පරාවේදීම ගෙවා අවසන් කරනවා ද, නැතිනම් එය රටේ අනාගත පරම්පරාවට භාර දෙනවාද යන්න තීරණය කිරීමෙන් පසුව ආර්ථිකය ගොඩනැඟීමේ වැඩපිළිවෙළ අප ආරම්භ කළා.

2015 අප රට භාර ගන්නා විට රටේ ආදායම වියදමට වඩා අඩු වී තිබුණා. රටේ වියදම් හා ආදායම් අතර පරතරය දළ දේශීය නිෂ්පාදනයෙන් 5.7%ක වෙනසක් ලෙස සටහන් වී තිබුණා. 2020 වසර වන විට එය 3.5% දක්වා අඩු කිරීම අපේ බලාපොරොත්තුවයි. මෙවැනි විශාල වැඩ කොටසක් සිදු කරන අතරම පසුගිය වසර දෙක තුළ නිවාස ලක්‍ෂ දෙකකට අධික ප්‍රමාණයක් වෙනුවෙන් ආධාර කිරීමටත් අපට හැකි වුණා.

ඒ වගේම "ළඟම පාසල - හොඳම පාසල" ව්‍යාපෘතිය යටතේ පාසල්වලට මුදල් ලබා දෙන අතර පාසල් දරු දැරියන් වෙනුවෙන් පසුගියදා සිසු රක්‍ෂණ ක්‍රමවේදයක්ද අප ආරම්භ කළා. ඒ වගේම අපි සෞඛ්‍ය අංශයට අවශ්‍ය මුදල් ලබා දුන්නා. විදුලි බලයට, මහා මාර්ග ඉදිකිරීමට, වාරිමාර්ග ඉදිකිරීමට ආදී සියලුම අංශයන් සඳහා අප මේ වන විට අවශ්‍ය මුදල් වෙන් කර තිබෙනවා. මේ සියලු දේ අප සිදු කරන්නේ එදා ඉදිරියට ගෙන යෑමට නොහැකි යැයි පැවසූ ආර්ථිකය හරහායි. අප කඩා වැටී තිබූ එම ආර්ථිකය ශක්තිමත් කර ගත් නිසා මෙලෙස සාර්ථකව කටයුතු කිරීමට හැකියාව ලැබී තිබෙනවා.


නමුත් අපට එදා ලබා ගත් ණය තවමත් ගෙවීමට සිදුව තිබෙනවා. එම නිසා රට තුළ ණය පාලන වැඩසටහනක් අප ක්‍රියාත්මක කරමින් සිටිනවා. ඒ වගේම රටේ උද්ධමනය පාලනය කරන්නේ කෙසේදැයි අප සැලසුම් කරමින් සිටිනවා. උද්ධමනය ඉහළ යෑම නිසා රටේ ඇතැම් අංශවල බඩු මිල ඉහළ ගොස් තිබෙනවා.
අපේ ආණ්ඩුව ගත් පියවර මත 2017 වසර අවසන් වන විට රටේ ආර්ථිකය 5.5% වර්ධන වේගයක් ලබා ගනු ඇතැයි අප බලාපොරොත්තු වුණා. නමුත් අපේ රටට විශාල ජල ගැලීම් දෙකකට මුහුණදීමට සිදු වුණා. ඒ වගේම නියඟයට, මීතොටමුල්ල කුණු කන්ද නායෑම සහ මාරාන්තික ඩෙංගු උවදුරට ද අප මුහුණ දුන්නා. එවිට බොහෝ දෙනා පැවසුවේ රටේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම කඩා වැටෙනු ඇති බවයි. නමුත් මේ සියලු කරදර මධ්‍යයේ ආර්ථික වර්ධනය කිරීම සඳහා අප ගෙන ඇති පියවර හේතුවෙන් 4% - 4.5% ආර්ථික වර්ධන වේගයක් බලාපොරොත්තු විය හැකියි.
මම ඔබට පෙර පැවසූ ආකාරයට තවමත් ණය ගෙවීමට තිබෙනවා. අප ණය කන්දේ මුදුනට තවම පැමිණ නැහැ. 2018 _ 2019 වසර වන විට අප ණය කන්දේ මුදුනට පැමිණෙනවා. ණය ලබාගත් පුද්ගලයන් රටේ ඉදිරි පරම්පරා තුනක් පමණ උකසට තබා අවසන්. ඉදිරි වසර දෙක තුළ අපට ගෙවීමට ඇති ණය ප්‍රමාණය රුපියල් කෝටි ලක්‍ෂ 3ක් වනවා. එම සංඛ්‍යාව සරලව කියනවා නම් තුනේ ඉලක්කමට තවත් බිංදු 12ක් ඊට එකතු කළ යුතුයි.

ඉදිරි පරම්පරාවට මේ ණය ගෙවීම ඉතිරි නොකර අපේ පරම්පරාවේදීම එය ගෙවා අවසන් කිරීම අපේ බලාපොරොත්තුවයි. මේ ණය කන්ද ගෙවීමට වසර 10ක් අවශ්‍ය වන්නේ නැහැ. අපේ ඉදිරි ආණ්ඩු කාලයේදීම මෙම විශාල ණය ප්‍රමාණය ගෙවීමට අප සැලසුම්සහගත විය යුතුයි. අපේ ආණ්ඩුවේ ප්‍රධාන අරමුණ එයයි.

ඇතැම් පියවර හමුවේ රටේ ජනතාවට ජීවන බර වැඩි වීමට ඉඩ තිබෙනවා. එය අපහසු බව අපි දන්නවා. නමුත් අපට අවශ්‍ය වන්නේ ලබා ගෙන ඇති ණය ප්‍රමාණය මේ වසර කිහිපය තුළ ගෙවා අවසන් කිරීමටයි. ඉදිරි පරම්පරාව ණය ගෙවීමෙන් නිදහස් කිරීමටයි. අපේ මූලික පරමාර්ථය වන්නේ එයයි. ණය ලබාගත්තේ කවුද යන්න ප්‍රශ්නයක් කර නොගෙන සියලු දෙනා එක්ව ඒ ණය ගෙවීමට කටයුතු කරමු. එම ණය ගෙවීමේ අභියෝගය ඉදිරි පරම්පරාවට භාර නොදී අපි භාර ගනිමු. ඒ සඳහා තවත් වසර 10ක් ගත නොකර එළැඹෙන වසර 2 _ 3 තුළ ණය ගෙවීමත් අවසන් කරමින්, රටේ ආර්ථිකය ශක්තිමත් කරමින්, වැඩි වැඩියෙන් රැකියා අවස්ථා බිහි කරමින් ශක්තිමත් ආර්ථිකයක් අපි ගොඩනඟමු යැයි මම මේ අවස්ථාවේ ඔබට ප්‍රකාශ කරනවා.

ත්‍යාගා ශ්‍රී මාලි බණ්ඩාර

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්