රාජපක්‍ෂ පවුල රකින්න මම මැදිහත්වූ හැටි නාමල්ගේ හෘද සාක්ෂිය දන්නවා

  👤  2406 readers have read this article !
By mawbima 2017-10-19

ශ්‍රී ලනිපය එකතු කරන්න කටයුතු කරන විට කලබල වූ කණ්ඩායමක් චරිත ඝාතනය කරමින් දේශපාලන කුමන්ත්‍රණයක් සිදු කරනවා යැයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් හා ධීවර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේය.
ඔහු එසේ ප්‍රකාශ කළේ ඊයේ (18දා) කොළඹ, මහගමසේකර මාවතේ පිහිටි ඔහුගේ නිල නිවසේදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
මහින්ද අමරවීර මහතා මෙසේද පැවැසීය.

මත්තල ගුවන් තොටුපළ විකුණන බවට පසුගියදා විරෝධතාවක් පැවැත්වුණා. මත්තල ගුවන්තොටුපොළ විකුණනවා නම් හෝ හම්බන්තොට දිස්ත්‍රික්කය ජනතාවට අහිතකර දෙයක් සිදු වෙනවා නම් ඊට විරුද්ධව මමත් මුලින්ම ඉඳ ගන්නවා. මත්තල ගුවන් තොටුපළක් ලෙස පාවිච්චි නොකර වී ගබඩා කළොත් කැබිනට් මණ්ඩලයෙන් ඉවත් වන බව මම ඒ දවස්වල ප්‍රකාශ කළා. මත්තල ගුවන් තොටුපොළක් ලෙස පවත්වාගෙන යෑමට එදා කටයුතු කළේ ඒ ආකාරයටයි. ඒ නිසා ජනතාවට අහිතකර දේකට මගේ අත් එසවෙන්නේ නැහැ.

මත්තල ගුවන් තොටුපොළ සංවර්ධනය කිරීමට රජයට තිබෙන අපහසුතාව පිළිබඳ කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡා කළා. පෞද්ගලික අංශයේ ආයෝජකයකු සමඟ එක්වී සාර්ථකව පවත්වාගෙන යා යුතු බවටත් එහිදී කරුණු ඉදිරිපත් වුණා. ඒත් ඊට වඩා වැඩි තීන්දුවක් ගෙන නැති බව දැන දැනත් දේශපාලන වාසියක් ගැනීමට සමහරු කටයුතු කළා.
ඒත් උද්ඝෝෂණය පිටුපස තිබුණේ ගුවන් තොටුපොළ පිළිබඳ කාරණයට වඩා හම්බන්තොට දිස්ත්‍රික්කයේ දේශපාලන කරුණක්. ඒකට හේතු කිහිපයක් තිබෙනවා. ජනාධිපතිතුමා මා අගය කිරීමත් මහවැලි සංවර්ධන අමාත්‍යාංශය භාරදීමත් සමඟ මට විරුද්ධව පිරිසක් කටයුතු කරනවා. එවැනි පිරිසක් ප්‍රධාන දේශපාලනඥයකුගේ නිවෙසේදී රැස්වී

සාකච්ඡාවකුත් කළා. පොඩි පක්ෂ දෙකක නායකයන් ඇතුළු 11 දෙනකුගෙන් යුතු තරුණ මන්ත්‍රි කණ්ඩායමක් එතැන හිටියා. ෆේස්බුක් ඔස්සේ මඩ ප්‍රචාරය කරන දෙදෙනකුත් හිටියා. මෛත්‍රිපාල ජනාධිපතිතුමාට දැනෙන්න නම් මට ගහන්න ඔවුන් තීන්දු කළා. හම්බන්තොට දිස්ත්‍රික්කයේ නොවන මන්ත්‍රිවරයෙක් මා සීන් එකෙන් ඉවත් කිරීමටත් යෝජනා කළා. ඔහුට එවැනි අත්දැකීම් තිබෙනවා. සීන් එකෙන් අයින් කරනවා කියන්නේ ජීවිත හානි කිරීමයි. ඒත් අනිත් මන්ත්‍රිවරු ඊට විරෝධතා පළ කළා. මට විරුද්ධව අසත්‍ය චෝදනා නඟමින් චරිත ඝාතනය කිරීම ආරම්භ වූයේ ඉන් පසුවයි.

ඒත් හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජනතාව මා සමඟ දිනෙන් දින එකතු වෙනවා. මහ මැතිවරණයේදී පරාජය කරන්න ඇතැම් නායකයෝ උත්සාහ කළා. ඒ වෙලාවෙ මාත් එක්ක හිටියේ පළාත් පාලන මන්ත්‍රිවරු 4ක් වුණත් දැන් 27 දෙනෙක් ශ්‍රී ලනිපයට එකතු වී සිටිනවා.
මත්තල ගුවන් තොටුපළ විකුණමින් අක්කර 35,000ක් විදේශිකයන්ට දෙනවා කියමින් මගේ පඹයන් පිච්චුවේ ඇයි? මේක දේශපාලන කුමන්ත්‍රණයක්. ඒත් ගැටුමක් ඇති කරගෙන පිරිසකට බන්ධනාගාර ගත වීමට සිදු වුණා.

ඒ සඳහා මම උපදෙස් දුන්නා කියලා ඒ අය ප්‍රචාරය කළා. ඒත් මිනිසුන්ට හිරිහැර කරලා කරන දේශපාලනයට මම එකඟ නැහැ. නාමල් රාජපක්ෂ මන්ත්‍රිතුමාගේ හෘදය සාක්ෂිය දන්නවා ඇති එතුමත්, එතුමාගේ පවුලේ අය වෙනුවෙනුත් මම කරපු මැදිහත්වීම් ගැන.

ඔවුන් පිරිසකට ඇප ලැබුණු දවසේ ප්‍රේමනාත් සී. ‍ෙදාළවත්ත අපි නීතිඥ මහත්තයෙක් අපි ඇප දීම නතර කිරීමට උත්සාහ කළා කිව්වා. ඒක අසත්‍ය මෙන්ම උසාවියට අපහාස කරන ප්‍රකාශයක්. ඒත් ඒක මම අස්සන් කරපු ලිපියක් නෙවෙයි. මේ අය විදේශ සංචාරයකට සහභාගි වීමට ඇප ඉල්ලා තිබෙනවා. ඒත් නාමල් රාජපක්ෂ, ඩී. වී. චානක හා ප්‍රසන්න රණවීර මන්ත්‍රිවරුන්ට රජය මැදිහත්වීම මත සංචාරයක් නොමැති බවට පාර්ලිමේන්තු ලිපියක් යවා තිබෙනවා. පාර්ලිමේන්තු මහ ලේකම් වෙනුවට යූ. කුමාරසිංහ නමැති පාර්ලිමේන්තු සන්ධාන ප්‍රධානි විසින් එම ලිපිය අස්සන් කොට තිබෙනවා. ඒක තමයි මම එව්වා කියන්නේ. මටත් උසාවියටත් අපහාස කළ නීතිඥයා ඇතුළු සියලු දෙනාට එරෙහිව නීත්‍යනුකූලව කටයුතු කරනවා.

සාමාන්‍ය පවුලකින් දේශපාලනයට පැමිණි කෙනෙක් ලෙස මට තරම් අභියෝග තිබුණු කෙනෙක් තවත් නැතුව ඇති. ඒ ගැන දවසක පොතක් ලියනවා. ඒක ලිව්වම හුඟක් අය තරහ වෙයි. හිත් නරක් වෙයි. හිරිහැර අභියෝග තවම තිබෙනවා. ජීවිතයෙන් වන්දි ගෙවන්න වුණොත් ඒකත් බලාගෙන තමයි සේවයට ආවේ.
වංචා දූෂණවලට විරුද්ධව කතා කිරීම මම නතර කරන්නේ නැහැ. පසුගිය ආණ්ඩු කාලයේ සිදුවූ වැරැදිවලටත් දඬුවම් දෙන්න ඕන.

පසුගිය කාලයේ ඉදිරිපත් වූ කෝප් වාර්තා එකකින්වත් දඬුවම් ලබා දීමට කටයුතු කෙරුණේ නැහැ. ඒත් ඉතිහාසයේ පළමු වතාවට බැඳුම්කර සිද්ධිය සම්බන්ධව ජනාධිපති කොමිසමක් පත් කළා. දැන් ඊට අයිතිකාරයෝ නිර්මාතෘවරු ගොඩක් සිටිනවා. බැඳුම්කර සිද්ධිය මුලින්ම හෙළිදරව් කළේ මමයි. නිමල් සිරිපාල ද ඇමැතිතුමා ඇතුළු පිරිසක් සමඟ මහ බැංකුව වටලන්න අපට හැකි වුණා. අර්ජුන මහේන්ද්‍රන් ගෙදර යවනකං ඒ සටන අපි ගෙනිච්චා.

බැඳුම්කර කොමිසම නිසා දේශපාලනඥයො හොරු කියලා ජනතාව ඉදිරියේ හෙළිදරව් වුණා. ඒ අය ඡන්ද දායකයා ඉදිරියේ නිරුවත් වුණා. ඔවුන්ට ඊළඟ මැතිවරණයේදී ඡන්දය දෙනවා කියලා මම නම් හිතන්නේ නැහැ.

දෙනගම ධම්මික රණවීර

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්