රේන්දයාට වෙච්ච දේ මේ රටට වෙන්න දෙන්න බැහැ

  👤  2316 readers have read this article !
By mawbima 2017-10-19

අප රටට විධායක ජනාධිපති ධුරයක් අවශ්‍ය බවත්, ජනාධිපතිවරයා තමන්ට ඇති බලතල පාවිච්චි කිරීම අත්‍යවශ්‍ය බවත් බලය අතේ තියාගෙන බලන් හිටියහොත් රට විශාල හානියකට හා අස්ථාවර භාවයකට පත්වන බවත් උතුරු හා උතුරු මැද දෙපළාතේ ප්‍රධාන සංඝනායක අනුරාධපුර ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරාධිපති ආචාර්ය නුගේතැන්නේ පඤ්ඤානන්ද හිමියෝ 'මව්බිම'ට පැවැසූහ.

වර්තමානයේ රට හමුවේ ඇති අභියෝග පිළිබඳව කරුණු දැක්වූ පඤ්ඤානන්ද නාහිමියෝ මෙසේද පැවැසූහ.
මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා ප්‍රජාතන්ත්‍රවාදී වැඩියි. අද රට තුළ මත්ද්‍රව්‍ය දිනෙන් දින වැඩි වෙනවා. මේ උවදුර පිළිබඳව වැඩිදුර සොයා බලන විට ඊට සම්බන්ධ පුද්ගලයන් තහවුරු කර ගන්නා විට ඊට එරෙහිව ගන්නා ක්‍රියාමාර්ග නවතිනවා. විශ්වවිද්‍යාල සිසුන් හැමදාම මහපාරේ. සයිටම් අර්බුදයට තවමත් විසඳුම් නෑ. ගොවි ආර්ථිකය මුළුමනින්ම කඩා වැටිලා. එහි දියුණුවට ක්‍රමවේද ක්‍රියාත්මක වීම මන්දගාමීයි. පාසල් පද්ධතිය ගත් විටත් 11,12,13 පන්තිවල සිසුන් අද පාසල් නොයන තත්ත්වයක් උදාවෙලා. මිල මුදල් ඇති පිරිස් උපකාරක පන්තියකට හරි ගිහින් ඉගෙන ගන්නවා. නමුත් දුප්පතාගේ දරුවන්ට දෙයියන්ගේම පිහිටයි. අද ඇත්ත කියන මිනිහට දඬුවම් දෙනවා. බොරු කියන මිනිහා රජ කරනවා. මේක අනාගාමික රටක් විය යුතුයි කියා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකයා කියනවා. රජයේ සේවකයෙක් ගත් විට ඔහු තම වෘත්තීය විතරයි කරන්නේ නැත්තේ. අනෙක් සියල්ල කරනවා. ආයතනික වශයෙන් නීතියක් නෑ. තිබුණත් ක්‍රියාත්මක වෙන්නේ නෑ. දුප්පත් පොඩි මිනිහා නිතරම තැළෙනවා. පොඩි වෙනවා. ඔවුන්ට අසාධාරණකම් වෙනවා. මේක බෞද්ධ රටක් කියා මැල්කම් රංජිත් පියතුමාත් කියනවා.

මම පැරැණි කතාවක් මතක් කළොත් හොඳයි කියලා හිතෙනවා.
එක ගමක රේන්දයෙක් හිටියා. රේන්දයා කියන්නේ සුද්දන්ගේ කාලේ රා මදින්න අවසර දීලා තිබුණු පුද්ගලයාට. මේ රේන්දයා කල වයස පිරුණාම කසාදයක් කර ගත්තා. ටික කලක් ගියාම සල්ලිකාරකමත් නිසා ඔහු තව කාන්තාවක් කරකාරෙට ගත්තා. දැන් මේ දෙන්නම එක ගෙදර ඉන්නවා. හැමදාම ඇඳිරි වැටුණාම මේ කාන්තාවෝ දෙන්නා රේන්දයාගේ අතපය මිරිකනවා.

දවසක් අතපය මිරික මිරික ඉන්නකොට ඇඳ ළඟ පත්තු කරලා තිබුණ පහනෙ තිරය මීයෙක් අරන් දිව්වා. කොහොම හරි මීයා අරන් ගිය පහන් තිරය උගෙ කටින් අතෑරුණා. ඒ තිරය රේන්දයාගේ පපුව උඩට වැටුණා. දැන් රේන්දයාගේ පපුව උඩ පහන් තිරය පත්තු වෙනවා. නමුත් කාන්තාවන් දෙදෙනා මේ අත මගේ, මේ අත මගේ කිය කියා අත් දෙකම අතෑරියේ නෑ. අන්තිමට රේන්දයාගේ පපුව පිච්චුණා. අපේ රටටත් මෙහෙම වෙන්න දෙන්න බෑ. අයිතිකාරයෝ ගොඩක් හිටියට රේන්දයාට වෙච්ච දේ රටට වෙන්න දෙන්න බැහැ.
නාච්චාදුව - කිත්සිරි වනසිංහ

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්