පොහොට්ටුව පස්සේ ගිය කට්ටිය අද අමාරුවේ වැටිලා

  👤  2299 readers have read this article !
By mawbima 2017-10-19

ජාතික ආණ්ඩු චක්‍රය හැදෙන හැටි නොදැන පොහොට්ටුව පස්සේ ගිය මන්ත්‍රිවරු පිරිස අමාරුවේ වැටුණාට පස්සේ අපට වැරැදුණා යැයි දැන් පවසන බව අභ්‍යන්තර කටයුතු වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය එස්.බී. නාවින්න මහතා පැවැසීය.
නාවලපිටිය කුරුඳුවත්ත සංස්කෘතික මධ්‍යස්ථානය සඳහා මුල්ගල තැබීමේ අවස්ථාවට සහභාගි වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කෙළේය.
අමාත්‍යවරයා එහිදී මෙසේද කීය.

දේශපාලන භූමිය තුළ හතුරොත් නෑ. මිතුරොත් නෑ. ඒ නිසා කලක් හතුරෝ වෙලා හිටිය අය නැවත මිතුරෝ වෙන්න පුළුවන්. ඒ අනුව තමයි මේ ජාතික ආණ්ඩුව ගොඩනැඟුණේ.
මේක හැමෝටම හොඳ අවස්ථාවක් වුණා. එහෙත් ජාතික ආණ්ඩු චක්‍රය හදාගන්න බැරි වුණා. සුළු පිරිසක් අමාරුවේ වැටිලා අද දුක් වෙනවා.
ලෝකේ කොහේවත් 80%ට වඩා ඡන්දය ගත් පක්ෂ 2ක් එකතු වෙලා ආණ්ඩු කරලා නෑ. මේ පක්ෂ දෙක එකතු වෙනකොට ලංකාවේ අය මේක තේරුම් ගන්න බැරිව පොහොට්ටුව පස්සේ ගියා.

සියලු ජාතීන් එකතු කරගෙන මේ ඉස්සරහට යන්න හදන මේ වෙලාවේ ඒක කඩාකප්පල් කරන්න හොඳ නෑ. මමත් අවුරුදු 20ක් විතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවේ ඇමැති තනතුරු දැරුවා. වයඹ මහ ඇමැති වුණා.
දැනුත් මට අමාත්‍යාංශ 3ක් ලැබිලා. ඉතින් පාඩුවක් නෑ. අනෙක් අයට මේක තේරුම් ගන්න බැරි වුණා.
නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම ද මෙහිදී අදහස් දැක්වීය.
පසුගිය ආණ්ඩු සමයේ අපි දැක්කා රජයේ සේවකයන් ගස් බැඳලා ගහනවා. පොලිස් නිලධාරි මහත්තුරුන්ගේ ආත්මගරුත්වය එහෙම පිටින් විනාශ කරලා දැම්මා. බේරුවල වගේ සිද්ධි ඇති කරලා සුළු ජාතිකයන්ට පහර දුන්නා. පොලිසිය නිරායුධ කළා.
දෙමළ ජාතිවාදය ඇති කරන්න උත්සාහ කළා. හැබැයි මේවා ජාතික හැඟීමෙන් කරන ඒවා නොවේ. පෞද්ගලික දේශපාලන වාසි තකා කළ ඒවා.
සංස්කෘතිය කියන්නේ මිනිස්සු හැඩගස්වන තැනක්. එහෙම නැතිව මේ සංස්කෘතික මධ්‍යස්ථානයට ඇවිත් බෙරයක් ගහලා නටලා දාඩිය ටිකක් දාලා යන තැනක් නොවේ. ඉන් එහා ගිය සංස්කෘතියක් තියෙන තැනක්.

මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ආනන්ද අලුත්ගමගේ
පාර්ලිමේන්තුවේ වැදගත් පනත්වලදී සියලු පක්ෂ එක්ව ඒ සඳහා ඡන්දය දෙන සෑම අවස්ථාවකම මහින්ද රාජපක්ෂ ඡන්දය නොදී එළියට යනවා.
මේක තමයි කුහකකම. මේ රට ඉස්සරහට යනවාට එතුමා කැමැති නෑ. ජනතාව මුළා කරමින් තවදුරටත් මේ රට අස්ථාවර කරන්නයි එතුමාට අවශ්‍ය.
රාජපක්ෂ පාලනයෙන් දැඩි පීඩාවට පත් මේ රටේ මිනිසුන්ට වෙනසක් අවශ්‍ය වී තිබුණා. ඒ විදියටම නාවලපිටියේ තිබූ පාලනයටත් මිනිස්සු විරුද්ධ වෙලා හිටියේ. ඒ නිසා එ.ජා. පක්ෂයෙන් මම ඡන්දයට ඉදිරිපත් වීමත් සමඟ වන් ෂොට්. එක්වරම ඡන්ද 41,000ක් ගන්න කොට 12,000කින් ආසනයත් දිනලා ඉවරයි.
දැන් මහින්දානන්ද අහනවා මොනවද කරලා තියෙන්නේ කියලා. එතුමාට අපි කරන සංවර්ධනය පිළිගන්න ලැජ්ජා හිතිලා.

ගම්පොළ - මාධව බණ්ඩාර
කුරුඳුවත්ත - ජගත් විජේසිංහ

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්