හම්බන්තොට විරෝධතාවයේ සියලු දෙනාටම ඇප

  👤  2822 readers have read this article !
By mawbima 2017-11-14

හම්බන්තොට
- රාහුල් සමන්ත හෙට්ටිආරච්චි

හම්බන්තොට විරෝධතා සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සැකකරුවන් 31 දෙනා එක් අයකුට ලක්ෂ පහ බැගිින් වූ ශරීර ඇප දෙකක් මත හම්බන්තොට මහෙස්ත්‍රාත් අධිකරණය මඟින් ඊයේ (13දා) මුදාහරින ලදී.

ඇප මත මුදාහැරි සැකකරුවන් අතර පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රසන්න රණවීර, පළාත් සභා මන්ත්‍රි උපාලි කොඩිකාර හා හිටපු මේජර් අජිත් ප්‍රසන්න යන තිදෙනා වෙති.
වරාය සහ ගුවන්තොටුපොළ විකිණීමට විරෝධය පාමින් ඔක්තෝබර් මස 06දා හම්බන්තොට නගරයේ පැවැත්වූ විරෝධතාවයේදී එදින විරෝධතාකරුවන් 28 දෙනකු අත්අඩංගුවට ගත් අතර පසුව අවස්ථා කිහිපයකදී තවත් සැකකරුවන් 12 දෙනකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදී. අත්අඩංගුවට ගත් පිරිස අතර නාමල් රාජපක්ෂ, ඩී.වී. චානක, පාර්ලිමේන්තු මන්ත්‍රිවරුද වූහ.
ඔක්තෝබර් මස 16 වැනිදා පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රි ඩී.වී. චානක, පළාත් සභා මන්ත්‍රි සම්පත් අතුකෝරළ ඇතුළු අට දෙනකුට සුවිශේෂී කාරණා පදනම් කර ගනිමින් එක් අයකුට ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඇප ලබාදෙන ලදී.

එමෙන්ම ඔක්තෝබර් මස 30 වැනිදා පැවැති නඩු වාරයේදී රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි තවත් එක් සැකකරුවකු හට අධ්‍යාපන කාරණා පදනම් කර ගනිමින් ඇප ලබාදෙන ලදී.

"පොලිසිය මෙහි පරීක්ෂණ කටයුතු සිදුකළේ ඉතා මන්දගාමී ස්වරූපයෙන් බවත් ඒ තුළ පොලිසිය තවදුරටත් මෙම සැකකරුවන් බන්ධනාගාර ගත කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියත් මේ ආකාරයෙන් පුද්ගලයන්ගේ නිදහස අහිමි කිරීම අසාධාරණ බැවින් විමර්ශනයේ ප්‍රගතියක් නොමැති වීම තුළින් පොලිසියේ ඉල්ලීමද නොසලකා ගරු අධිකරණය මඟින් සියලු සැකකරුවන් හට ඇප ලබාදීමට කටයුතු කළ බව නීතිඥ ප්‍රේමනාත් ‍ෙදාලවත්ත කියා සිටියේය.
සැකකරුවන් හට ඇප ලබාදීමෙන් පසු හම්බන්තොට නගරයේ ඔවුන් හට මල්මාලා දමා පිළිගැනීමේ උත්සවයක්ද පැවැත්විය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්